පොලොන්නරුව, ජයන්තිපුර දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් හත්දෙනකු බරපතළ තුවාල ලැබූ අතර ඉන්දියානු ජාතික තරුණයෙක් අනතුරින් මිය ගියේය.
ජයන්තිපුර 23 කණුව අසලදී පෙරේදා (8) රාත්‍රි සිදුවූ අනතුරින් පසුව පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය රොහික් කුමාර් නැමැති ඉන්දියානුවා 21 හැවිරිදි තරුණෙයකි.
අනතුරින් තුවාල ලැබූ පිරිස අතර ඉන්දියානු ජාතිකයෝ හතර දෙනෙක් සිටිති.
අනතුරින් තුවාල ලැබූ පිරිස ජංගම දුරකතන සමාගමක කාර්මික ශිල්පීන් වන අතර ඔවුන් සිය නවාතැන්පොළට යන අතරතුරදී මෙම අනතුරට මුහුණපා ඇත.
ඔවුන් පොලොන්නරුව දෙස සිට මින්නේරිය දෙසට වෑන් රථයෙන් ගමන් කර ඇති අතර එහිදී එම දෙසටම ගමන් කළ සහල් ප්‍රවාහනය කළ ලොරි රථයක් මාර්ගයේ අයිනට වෙන්න නවත්වා තිබියදී අධික වේගයෙන් පැමිණි වෑන් රථය ලොරි රථයේ පිටුපස ගැටී තිබේ. වෑන් රියේ සිටි ලාංකික සහ ඉන්දියානු ජාතිකයන් සියලු දෙනාම මෙම අනතුරින් බරපතළ තුවාල සහිතව පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබුණි.
වෑන් රථයේ ඉදිරිපස ගමන් ගත් ඉන්දීය ජාතික රෝහිත් කුමාර් නමැති තරුණයා අසාධ්‍ය තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා මිය ගියේය.
පොලොන්නරුව සහකාර පොලිස් අධිකාරි චානක ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි පොලොන්නරුව පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ගුණතිලක මහතා ප්‍රධාන පොලිස් නිලධාරීහු අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වති.
ලොරි රථය සහ එහි රියැදුරු අත්අඩංගුවට ගෙනඇති අතර ඔහු පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මරණ පරීක්ෂණය ඊයේ උදේ පොලොන්නරුව රෝහලේ දී සිදුකිරීමට නියමිතව තිබුණි.
ඇළහැර-සරත් වෙලගෙදර