යාපනයේ කෝපායි ප්‍රදේශයේ නිවෙසක් ඉදිරිපිට නවතා තිබූ වෑන් රථයකට හා යතුරුපැදියකට කිසියම් පිරිසක් විසින් පෙරේදා (08) පහරදී ගිනි තබා පලා ගොස් තිබේ.
යතුරුපැදියකින් පැමිණි පිරිසක් මේ වාහනවලට ගිනි තබා පලා යන අන්දම අසල නිවෙසක පිහිටි සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබී පොලිසියට හමු වී තිබේ.
මේ අතර වාහනවලට ගිනි තැබීමෙන් පසුව එම ගින්න නිවා දැමීමට උත්ොහ කළ එම නිවෙසේ හිමිකරුගේ මව ඇඳුම්වලට ගිනි ඇවිළීම නිසා ඇය පිලිස්සුම් තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.
වාහනවලට මේ අන්දමට ගිනි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමක් ද මෙතෙක් සිදුව නොමැත.
වාහනවලට පහරදීම හා ගිනි තැබීම නිසා වෑන් රථයට හා යතුරුපැදියට දැඩි ලෙස අලාභහානි සිදුව ඇති අතර ඉන් සිදු වූ අලාභය රුපියල් ලක්ෂ හැටක් පමණ වෙතැයි ගණන් බලා තිබේ.
කෝපායී පොලිසිය මෙම වාහනවලට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යයි.
උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ