මෙරට මුහුදු සීමාවේදී එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනි ගැනීමේ සිද්ධියෙන් හානියට පත් සියලු දෙනාට එක ලෙස සාධාරණය ඉටුකිරීමට ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ගත හැකි සියලු පියවර රජය විසින් ගෙන ඇතැයි නීතිපතිවරයා ඊයේ (09) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෙරට මහේස්ත්‍රාත් අධිකරණයක සහ මහාධිකරණයේ නඩු පවරා ඇති අතර සිංගප්පූරුව සහ එක්සත් රාජධානියේ අධිකරණවල මේ සම්බන්ධයෙන් නඩු දෙකක් පවරා ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා තවදුරටත් දන්වා සිටියේය. එම නැව ගිනි ගැනීමෙන් ධීවරයන්ට සහ පරිසරයට වූ හානිය වෙනුවෙන් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් විභාගයට කැඳවූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විසින් මේ බව දැනුම් දෙන ලදි.
මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ මේ පෙත්සම් කැඳවනු ලැබිණි.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා සඳහන් කළේ අධිකරණය විසින් මීට පෙර ලබාදෙන නියෝග අනුව මේ නඩුවට අදාළ ලියකියවිලි කිහිපයක් ගොනු කිරීමට තමන් කටයුතු කළ බවය.
ඒ අනුව එම නැවේ කපිතාන්වරයා සහ කොළඹ වරායේ හාබර් මාස්ටර්වරයා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විමර්ශන ආයතන වෙත ලබා දී ඇති ප්‍රකාශවල පිටපත් ඉකුත් අගෝස්තු මාස 12 වැනිදා අධිකරණයට මෝසමක් මඟින් ගොනු කිරීමට කටයුතු කළ බව ඒ මහතා සඳහන් කළේය.
එසේම මේ සිද්ධියට අදාළව මේ දක්වා ගෙන ඇති පියවර සහ වර්තමාන තත්ත්වය පැහැදිලි කරමින් මෝසම් දෙකක් කොළඹ වරායේ හාබර් මාස්ටර්වරයා සහ මීපා ආයතනයේ සාමාන්‍යාධිකාරි විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.
එසේම ලන්ඩන් අධිකරණයේ විභාග වන නඩුවේ සටහන් ද අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත් බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පවසා සිටියේය.
එහිදී එක් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිල් ශාන්ත සිරිමාන්න මහතා සඳහන් කළේ අදාළ ලියකියවිලි තමන්ට ඉකුත් සෙනසුරාදා ලැබුණු බවය. එම ලියකියවිලි ලැබී තිබේ ද යන්න පිළිබඳව විනිසුරු මඬුල්ල සෙසු පාර්ශ්වයන්ගේ නීතිඥවරුන්ගෙන් විමසා සිටි අතර එම ලියකියවිලි කිහිපයක් පමණක් ලැබී ඇති බව ඔවුහු දන්වා සිටියහ. ඒ අනුව එම ලේඛන නොලැබුණු නීතිඥවරුන්ට ඒවා ලබා දෙන බවට අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයේදී පොරොන්දුවක් ලබා දුන්නේය.
අනතුරුව ඒ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටි මීපා ආයතනයේ හිටපු සභාපති නීතිඥ දර්ශනී ළහඳපුර මහත්මිය සඳහන් කළේ මේ පෙත්සම්වල වගඋත්තරකාරියක වන තමන් වෙනුවෙන් පෙනී නොසිටින බවට නීතිපතිවරයා දැනුම් දී ඇති බැවින් පෞද්ගලික නීතිඥවරයකු ලබා ගැනීමට තමාට අවසර ලබාදෙන ලෙසය.
මේ නැව ගිනි ගැනීමේ සිද්ධියෙන් අනතුරුව අදාළ ස්ථාන නිරීක්ෂණය කිරීමට තමන් පෞද්ගලිකවම සහභාගි වූ බව ඇය සඳහන් කළාය. එසේම ඊට අදාළ වාර්තා ගණනාවක් කැඳවීමට මෙන්ම සකස් කිරීමටද තමන් කටයුතු කළ බව ඇය සඳහන් කළාය.
නීතිපතිවරයා ඇතුළු ඇතැම් පාර්ශ්ව විසින් එම සිද්ධියට අදාළව අධිකරණයට ලිපි ලේඛන ඉදිරිපත් කිරීමේදී කරුණු සැඟවීමක් කර ඇති බවද ඇය සඳහන් කළාය.
එසේම එහිදී ඇතැම් කරුණු මඟහැර ඇති බව ද නීතිඥවරිය තවදුරටත් සඳහන් කළාය.
ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට තමන්ට අවශ්‍ය බැවින් ඊට අදාළ
ලේඛන ගොනු කිරීමට අවසර ලබාදෙන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
එහිදී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නීල්ශාන්ත සිරිමාන්න මහතාගෙන් විනිසුරු මඬුල්ල ප්‍රශ්න පෙර සිටියේ මීපා ආයතනයේ හිටපු සභාපතිනිය අලුතින් කරුණු ඇතුළත් ලියකියවිලි ඉදිරිපත් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් වන ස්ථාවරය දැක්වීමට අපේක්‍ෂා කරන්නේද යන්නය.
ඊට පිළිතුරු දෙමින් නීතිඥවරයා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට තමන්ට අවශ්‍ය බවය. එහිදී කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල අදාළ ලියකියවිලි ලබන 23 වැනිදා හෝ ඊට පෙර ගොනු කරන ලෙස නීතිඥවරියට නියෝග කළේය.
මේ නැව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ සහ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවල පිටපත් සහ අදාළ ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීට පෙර නියෝගයක් දුන්නද මෙතෙක් ඒවා ඉදිරිපත් කර නැති බවක් විනිසුරු මඬුල්ලේ අවධානයට ලක්විය.
එබැවින් අදාළ ලේඛන වහාම අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිවරයාට නියම කෙරිණ.
එසේම අධිකරණයට මෙතෙක් ඉදිරිපත් නොකළ ලිපි ලේඛන තිබේ නම් ඒවා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අතිරේක සොලිසිටර් ජනරාල්වරයාට තවදුරටත් නියම කරන ලදී.
අනතුරුව පෙත්සම් පිළිබඳව වැඩිදුර කරුණු සලකා බැලීම නොවැම්බර් මස 05 සිදුකිරීමට නියම කෙරිණ. කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන සරත් ඉද්දමල්ගොඩ පියතුමා, වෘත්තීය ධීවරයන් දෙදෙනෙකු වන ඩබ්ලිව්. ගාමිණී ප්‍රනාන්දු, වර්ණකුලසූරිය ක්‍රිස්ටෝපර් සරත් ප්‍රනාන්දු සහ පරිසර විද්‍යාඥවරියක වන ආචාර්ය අජන්තා පෙරේරා, ජේ. ජෙගතීෂ්වරන්, පරිසර යුක්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ විසින් මේ පෙත්සම් ගොනු කර තිබුණි.
පරිසර ඇමැති, ධීවර ඇමැති, වරාය ඇමැති, වරාය අධිකාරියේ සභාපති, පරිසර අමාත්‍යාංශයේ ලේකම්, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා පෞද්ගලික සමාගම, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය මධ්‍යම පරිසර අධිකාරිය, නීතිපති ඇතුළු 12 දෙනෙකු එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටිති.
නෙල්කා මැදගෙදර