Sunday, April 20, 2025
Home » 59 වැනි රාජ්‍ය ඔසුසල මහාචාර්ය සේනක බිබිලේගේ ගමට

59 වැනි රාජ්‍ය ඔසුසල මහාචාර්ය සේනක බිබිලේගේ ගමට

by gayan
September 7, 2024 1:00 am 0 comment

මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ග්‍රාමය වන බිබිල ප්‍රදේශයේ 59 වැනි රාජ්‍ය ඔසුසල විවෘත කිරීම අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (31) සිදු කෙරිණ.

මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ඖෂධ ප්‍රතිපත්තිය ජාත්‍යන්තරව පිළිගෙන මේ වන විට රටවල් 80කට වඩා වැඩි සංඛ්‍යාවක ක්‍රියාත්මක කර ඇතැයි ද, බිබිලේ වළව්ව කෞතුකාගාරයක් බවට පත් කිරීමට සැලසුම් කරන්නේ යැයි ද වෛද්‍ය පාලිත මහීපාල මහතා එහිදී ප්‍රකාශ කළේය.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට (SPC) අනුබද්ධව මෙම ඔසුසල ස්ථාපිත කළ අතර මහාචාර්ය සේනක බිබිලේ මහතාට කරන ගෞරවයක් ලෙස බිබිල ප්‍රදේශයේ මෙම ඉදි කිරීම සිදු කළ බව ද ඒ මහතා කීය. මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ මූලික රෝහල ඉදිරිපිට ස්ථාපිත කළ මෙම රාජ්‍ය ඔසුසල මගින් පළපුරුදු ඖෂධවේදීන්ගේ සේවාව යටතේ, රාජ්‍ය මුද්‍රාව සහිත නියම ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක ඖෂධ අඩු මිලකට මිලදී ගැනීමට ජනතාවට හැකියාව ලැබෙන අතර, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, ගර්භණී මවුවරුන් සහ වයස අවුරුදු 5ට අඩු දරුවන් සඳහා සියයට 5ක සුවිශේෂි වට්ටමක් සහිතව ඖෂධ නිකුත් කිරීම ද සිදු කරයි. ඔසුසල විවෘත කිරීමට ප්‍රථම බිබිල මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ මූලික රෝහල ඉදිරිපිට ඉදි කර ඇති මහාචාර්යවරයාගේ පිළිරුවට පුෂ්පෝහාර පුද කිරීමට ද ලේකම්වරයා ඇතුළු පිරිස කටයුතු කළහ. ඔසුසල විවෘත කිරීමෙන් පසුව එහි මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ඡායාරූපයක් නිරාවරණය කළ ලේකම්වරයා පළමු ඖෂධ ගනුදෙනුව සිදු කළේය. රාජ්‍ය ඖෂධ සංස්ථාව පසුගිය වසර 53ක කාලය තුළ මෙරට දීප ව්‍යාප්ත ඔසුසල් ජාලයක් පිහිටුවීමට පියවර ගෙන ඇත.

මෙම අවස්ථාවට මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සුසන්ත පුනාන්දු, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් මෙන්ඩිස්, කළමනාකාර අධ්‍යක්ෂ මෙවන් සම්පත් සුබසිංහආරච්චි, සාමාන්‍යාධිකාරි දිනූෂ දසනායක, බිබිල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඩී.එම්.එස්. බණ්ඩාර යනාදී මහත්වරුන් සහ රාජ්‍ය ඖෂධ සංස්ථා‌වේ නිලධාරීන්, ව්‍යාපාරිකයන්, බුත්තල ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී, වෛද්‍යවරුන්, ‍හෙද හෙදියන් ඇතුළු ප්‍රදේශවාසී ජනතාව ද එක්වූහ.

සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT