Home » වැල්ලවත්ත ශාන්ත ලෝරන්ස් කන්‍යාරාමය 125 වැනි ජුබිලිය සමරයි

වැල්ලවත්ත ශාන්ත ලෝරන්ස් කන්‍යාරාමය 125 වැනි ජුබිලිය සමරයි

by gayan
September 7, 2024 1:00 am 0 comment

කොළඹ 6 ශාන්ත ලෝරන්ස් කන්‍යාරාමය, ඔවුන්ගේ 125 වැනි ජුබිලි වසර සමාරම්භක උත්සවය පසුගියදා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීය.

දෙවියන්ගේ ආශීර්වාදය ඉල්ලා, ශුද්ධ වූ දිව්‍ය පූජාව පැවැත්වීමෙන් උත්සව කටයුතු ආරම්භ වූ අතර පාසල් නර්තන කණ්ඩායම්, ගායන කණ්ඩායම් සහ විද්‍යාලයීය තූර්ය වාදක කණ්ඩායම්වල සුවිශේෂ දස්කම්වලින් උත්සවය සමන්විත වූ අතර පසුගිය වසර පුරාවට අධ්‍යාපනික මෙන්ම පාසල් ආශ්‍රිත අනෙකුත් ක්‍රියාකාරකම්වල දී අත්කර ගත් සාර්ථකත්වයන් ද මෙහිදී ඉදිරිපත් කරන ලදි.

අතිගරු මැක්ස්වෙල් සිල්වා රදගුරු හිමිපාණන් වහන්සේ, අගරදගුරු පදවි සහායක රදගුරු හිමි, කොළඹ කලාපීය අනුනායක අතිගරු නිහාල් අයිවන් පෙරේරා හිමිපාණන්, ජාතික අධ්‍යාපන අධ්‍යක්ෂ, අගරදගුරු පදවි අධ්‍යාපන අධ්‍යක්ෂ හා කතෝලික පෞද්ගලික පාසල් සාමාන්‍යාධිකාරි (බ.ප) ගැමුණු ඩයස් පියතුමා, යහපත් එඬේරාගේ කන්‍යා සොහොයුරියන්ගේ කොළඹ අංශයේ සම්බන්ධීකාරක ඇලෙක්සැන්ඩ්‍රා මෙන්ඩිස් කන්‍යා සොහොයුරිය, ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ හා ශාන්ත ලෝරන්ස් කන්‍යාරාමයේ ප්‍රධාන මවුතුමිය වන ෆ්‍රැන්සින් මුතුගල කන්‍යා සොහොයුරිය ඇතුළු ගරු පියතුමන්ලා හා කන්‍යා සොහොයුරියන් ප්‍රමුඛ ප්‍රභූවරුන්, සම්භාවනීයයන්, විද්‍යාලයීය උන්නතියට නන් අයුරින් දායකත්වය දක්වන පුද්ගලයන්, විද්‍යාලයීය ගුරුවරුන්, සිසුවියන් හා මවුපියන් ඇතුළු ආරාධිතයෝ රැසක් මේ සඳහා සහභාගි වූහ.

වර්ෂ 1900 දී ජැනට් පෝලියර් මහත්මිය විසින් ආරම්භ කරන ලද ලෝරන්ස් විලා, යහපත් එඬේරා සභාවේ සහෝදරියන් වසර ගණනාවක් පුරා සිසුවියන් පරිපූර්ණ තරුණියන් බවට පත් කිරීමට සමත් වී ඇති අතර මේ වන තුරුත් ඔවුන්ගේ එම මෙහෙවර නොපිරිහෙළා ඉටු කරමින් සිටී. එමෙන්ම වත්මන් විදුහල්පතිනිය වන ගරු මේරි දිල්රුක්ෂි කන්‍යා සොහොයුරියගේ මඟපෙන්වීම යටතේ, වැල්ලවත්ත ශාන්ත ලෝරන්ස් කන්‍යාරාමය වර්තමානයේ ආකර්ෂණීය තරුණියන් බිහි කිරීමට වෙර දරනා කීර්තිමත් කතෝලික පාසලක් බවට පත්ව ඇත.

ඡායාරූප – නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT