කුමන විපතකට මුහුණ දෙන්නේ වුව කලාකරුවාගේ පරිකල්පනය සිඳී යන්නේ නැත. හෙතෙම මරණය අබිමුව වුව සිය කාල්පනික ලෝකයේ සැරිසරයි. ගාසා තීරයේ ජීවත්වන වහාබ් නම් කවියා බෝම්බ ප්‍රහාරවලින් සිය තට්ටු නිවාස සංකීර්ණය බිමට සමතලා වෙද්දී කොළයක් හා පෑනක් ගෙන කවි ලිව්වේ ය. ඔහුගේ වේදනාව, ප්‍රහර්ෂය, මරණ බිය යන සියල්ල තුළ ඇත්තේ එකිනෙකට ගැළපෙන පද සංඝටනාවකි.
නුඹලාට දිනුම
අපට පරාජය
අපට දිනුම
නුඹලාට පරාජය
වෙනසක් නැත.
කාල චක්‍රයක්
ඉතිරිව තිබේ.
වහාබ් කවියා මීට දින කිහිපයකට පෙර ලියා මෙය තැබුවේ මේ වන විට ඔහු ජීවතුන් අතර සිටිත්දැ’යි නොදනිමි. වාසනාවකට මෙන් වහාබ් ජීවතුන් අතර නම්; හෙටත් ඔහු කවි ලියනු ඇත.
අපට වහාබ්ගේ කතාව සිහිපත් වන්නේ ප්‍රවීණ චිත්‍රපටකරුවකු වූ සුගතපාල සෙනරත් යාපා පිළිබඳ අසුබ ආරංචියක් පැතිර යමින් තිබියදීය. සිය වසර අසූනවයක් වූ දිවි ගමනට යාපා තිත තබා ඇත. ඔහු කිසිකලෙක මරණය ගැන කතා කළේ නැත. වයස්ගතවීම ගැන ශෝක වූයේ නැත. වසර කිහිපයක් රෝද පුටුවකට තම ජීවිතය භාර දී තිබුණ ද සෙනරත් යාපා මරණය ගැන බියක්, පසුතැවීමක් ඇති කර ගත්තේ නැත. ඔහු සිය මිතුරන් කැටුව සංවාද කළේ අලුත් කතා වස්තුවක් ගැනය. ඔහුට ඕනෑතරම් කතා වස්තු තිබිණි. ඔහුගේ නිර්මාණ උල්පත් ඔස්සේ අන්තිම මොහොතේ පවා ප්‍රතිභාව ගලා යන්නට ඇත.
සුගතපාල සෙනරත් යාපාගේ නිර්මාණ ජීවිතය නිරීක්ෂණය කරන කෙනකුගේ වීමංසාවට වහා හසුවන ප්‍රමුඛ නිර්මාණ දෙකක් තිබේ. එකක් කෙටි චිත්‍රපටයකි. ඒ මිනිසා සහ කපුටාය. අනෙක වෘත්තාන්ත චිත්‍රපටයකි. ඒ හන්තානේ කතාව චිත්‍රපටයයි. මේ නිර්මාණ දෙකම සිංහල චිත්‍රපට කලාවේ හැරවුම් ලක්ෂ්‍ය ලෙස සැලකේ. පෙම්බර මධූ හා ඉන්දුට මල් මිටක් සුගතපාල සෙනරත් යාපාගේ වාණිජ චිත්‍රපටවලට නිදසුන් දෙකකි.
ඔහු වඩාත් ප්‍රිය කළේ තමාගේම තිරනාටකයක් සිනමා කෘතියක් ලෙස එළිදැක්වීමටය. යාපාගේ තිරනාටක ඉතා පැහැදිලිය. එහි සිදුවීම් මෙන්ම සංවාද එකිනෙකට මනාව ගැළපෙයි. ඇතැම් විචාරකයන්ගේ මතයට අනුව යාපා අධ්‍යක්ෂණයට වඩා තිර නාටක රචනයට සමත්කම් දැක්වීය. ඔහු ලියන කාර්මික පිටපත කිසිදු චකිතයකින් තොරව රූ-ගත කළ හැකි බව සිනමාවේ කව්රුත් පෙන්වා දෙති.
සිංහල සිනමාවට අතිශයින්ම අනන්‍ය වූ නළු-නිළියන් රැසක් හඳුන්වා දීම ද යාපා අතින් සිදු වූ විශිෂ්ට සේවාවකි. විජය කුමාරතුංග, අමරසිරි කලංසූරිය, දෙනවක හාමිනේ ඒ අතර පවතින ප්‍රකට නම් තුනකි. සුගතපාල සෙනරත් යාපාට එකිනෙක පාත්‍ර වර්ගයා පිළිබඳ මනා වැටහීමක් තිබිණි. ඔහු නළුවකුගේ බාහිර පෙනුම ගැන පමණක් නොව; මානසික ක්‍රියාවලිය හා හැසිරීම ගැන ද සූක්ෂ්ම නිරීක්ෂණයක යෙදුණේය.
මිනිසා සහ කපුටා යන කෙටි චිත්‍රපටය සම්මානයට ලක් වූ විශිෂ්ට නිර්මාණයකි. එහි කතා වස්තුව, සංස්කරණය, රූප පෙළ හා ජීවිතය පිළිබඳ ගැඹුරු දර්ශනය සිනමාව පිළිබඳ අධ්‍යයනය කරන කෙනකුට පරමාදර්ශී වෙයි. සුගතපාල සෙනරත් යාපා සිනමාව පිළිබඳ උපදේශකයකු ලෙස ද දේශකයකු ලෙස ද කටයුතු කර තිබේ. එය අපගේ ආධුනික සිනමාකරුවන්ට මහඟු වාසනාවකි.
හන්තානේ කතාව වෘත්තාන්ත චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙන්නේ 1969 දීය. ශ්‍රී ලංකාවේ උගත් තරුණ පරම්පරාව පිළිබඳ නව චින්තනයක් නිර්මාණය කළ එම සිනමා නිර්මාණය බැලූ – බැල්මට ප්‍රේම වෘත්තාන්තයකි. එහෙත් එහි යටිපෙළ ජීවිතය, තාරුණ්‍යය, මානව සම්බන්ධතා, ලිංගිකත්වය ආදී විෂයයන් පිළිබඳ නව කියැවීමක් විය. ඊට පෙර සිංහල සිනමාවෙන් තරුණ ජීවිත ගැන ගැඹුරු විවරණයක් දක්නට නොලැබිණි. මහ පොළොවේ යථාර්ථය හා තරුණ ජීවිතවල සිහින අතර පරතරයක් ඇති බව දේශපාලනික දෘෂ්ටියකින් විග්‍රහ කිරීමට සෙනරත් යාපා වෑයම් කර තිබිණි. මෑතකදී අමෙරිකාවේ පළ වූ ‘ද නිව් ලයිෆ්’ නම් ප්‍රබන්ධ කෘතිය අප සිහියට නැඟේ. ඉන් සංවාදයට ලක් කර ඇත්තේ ජීවිතය, ආදරය හා ලිංගිකත්වය පිළිබඳ අරගලයයි.
සුගතපාල සෙනරත් යාපා සිය කලා භාවිතයේදී කිසියම් දේශපාලන මතවාදයක් කෙරෙහි වැඩි විශ්වාසය තැබූ බව පෙනෙන්නට තිබුණ ද ඔහු සැබෑ ජීවිතයේදී කිසිදු පක්ෂ දේශපාලනයකට සම්බන්ධ වූයේ නැත. එහෙත් සෑම ආණ්ඩුවකින් ම පාහේ ඔහුට ආරාධනා තිබිණි. ඒ තනතුරු භාරගෙන වැඩ කරමු යනුවෙන්ය. ගුවන් විදුලියේ, රූපවාහිනියේ හා තවත් රාජ්‍ය ආයතන කිහිපයක නිර්මාණ කටයුතුවලට සහභාගී වූ යාපා පසුව සියල්ලෙන් නිදහසේ තරමක් නිහඬ ජීවිතයක් ගත කළේය. ක්‍රියාශීලී මනුෂ්‍යයකු වූ සුගතපාල සෙනරත් යාපා දුම්රියෙන් ගමන් ගියේය. රාගමට කිට්ටුව සිය නැඟණියගේ නිවසෙහි පදිංචිව සරල ජීවිතයක් ගත කළේය. යාපා යනු සම්මාන රැසකින් පිදුම් ලැබූ ගෞරවනීය චරිතයකි. ඔහුගේ නිර්මාණ ජීවිතය විශ්ලේෂණය කරන කෙනකුට නිරන්තරයෙන් වැඩ කරන නිර්මාණශීලී අල්පේච්ඡ මිනිසකු හමුවනු ඇත.