ස්තිථික සන්ධ්‍යාව
දැවමුවා ඔන්චිලාව
ඇලෙන තෙත මතුපිටින් යුතු
මුහුදට මුහුණලාගෙන
සෑහෙන වෙලාවකි දැන්
යන්තමින් හෝ පැද්දෙනු පිණිස
සුළඟක් පැමිණෙතැයි සිතමින්
මෝසම් සමය බව
අමතක වී ද මේ සමුදුරට
වැවක් තරමින්වත් රළ නැතිව
ගැඹුරු නින්දක ද ?
රාත්‍රිය එළඹෙන්නටත් ඉස්සර
අර ඈත දිස්වෙන දූපත්
කවරදාටත් වඩා පැහැදිලිව
සියවස් දහස් ගණනක්
තිබු තිබූ තැන්වලම
තදින් සවි වී පතුල්
ආදිකල්පික කොරල් පරයට
කෑගසන කුලුනු හැමෙකම
එකටම ස්වරයට එකට
නැමදුමට අඬගසයි
එකම එක දෙවියන්
කොමාවක් තබමින්
කන් බිහිරි කරවන නිහැඬියාවට
තරු එකින් එක
එළි පුපුරු ඇස් අරී
හෙමින් හරි බරි ගැහෙමින්
හුරු පුරුදු වලාකුළුවල
ඉරේ කහ කෙස් විතරයි
බුහුදුබත් නොවුනේ තවම
වැඩෙන හර්ම්ට් කකුළුවෙකි
කඩිසර ගමන නවතා
කරින් ගෙන ආ නිවෙස
උනා වැල්ලෙන් තබන
වඩා ඉඩකඩ ඇති
පෙරටත් වඩා බර ඇති
අලුත් බෙලි කටුවක්
දිලිසෙන ඇසින් දකිමින
ප්‍රසාද් වීරසිංහ
ලෝහිත නැතත් සුදු ඇතිරිල්ලේ ගෑවී
සිරි යහනේ කඳුළු අතුරන මගෙ දේවී
දෙකොපුල් තෙමී ඔය වත රූසිරු යාවී
ලෝහිත නැතත් සුදු ඇතිරිල්ලේ ගෑවී
මධු සමයකට කඳුළැල් කුමකට දේවී
මකනා බවම දැන දැන රළ පෙළ සයුරූ
ලීවේ කිමද අද ලෙස වැල්ලේ අකුරු
ඉටිමල්වලත් සැනසෙති මත් වුණු බඹරු
රොන් බී ගියා ආවේ ආපසු කවුරු
දැක මිරිඟුවක් දිය සෙව්වත් ඔබ ඊයෙ
වැළලූ අතීතය නොම ගොඩ ගනු ආයේ
අළුකර අදුරු මතකය සදහට දිවියේ
පතිනිය වෙන්න මතු මතු උපදින භවයේ
ඵල නැත සොඳුරියේ මට නුඹෙ අතීතය
කළුවර නිමයි යළි හෙට හිරු නැඟේමය
බිම්බාවන් සෙව්වෙ සිදුහත් පමණමය
ඒ ලෙස ඉතිං නුඹ සදහට මගේ මය
ඉශානි ඉන්දිකා ජයලත්
අපිත් දැං වෙනස් වෙමු අක්කේ!
ටයර් කට්ටක් තල්ලු කර කර ආව ගුරු මඟ තාර හලලා
ටවර් එක උස තනා ඇත්තේ ගැලූ මහ ඇළ හරස් කරලා
වයර් එකකින් අහස් මායිම ගමේ උංටම කොටස් කරලා
කවර් කෙරුමට බැරිම හින්දා කන්ද පමණක් බලයි හැරිලා..
ඉවත දමනා දඬු රිකිල්ලත් ඉබේ පැළවුණ පුණ්‍ය බිම අද
නැවක නැඟ ගත් හාල් ඇටයක් වඩින තුරු මඟ බලයි වැඳ වැඳ
මවක වෙන්දේසියට දාලා කුරිරු කෑදර ලෝකයක මැද
ගෙවන ජීවිත අනේ මන්දා දැවෙනවා බඩ පපුව සහ හද
නිල්ල හිනැහුණ හෑම තැනකම කිල්ලකිය අත වනනු දැක්කේ
අල්ලගෙන උන් ගමේ කම අත ඇර දමාපන් පුංචි අක්කේ
එල්ල ගෙන සනුහරේ අභිමන තවත් බෝ දුර යත නොහැක්කේ
ඉල්ල ගෙන කා හුරු එකා නෑ වී ඇටේ ජීවිතේ දැක්කේ!
මංජුලා පියුමාලි ද සොයිසා
මතක පාලම
අවුරුදු තුනක් හතරක්
මා තැනු ආදරේ පාලම ශක්තිමත්
දවසක් මඟුල් කාරෙකක්
ඉගිලුනා නැති කර ඇඳි – වතක්
යකඩ පාලමේ ඉළ ඇට
දුන්න කරවා ගොක් වැට
මෙච්චර කාලයක්
මං ආවා ගියා ඔතනින්
සොහොනක් ළඟින් යන ගානට
එතැනින් අහසට ද පොළොවට ද
මට මතක නෑ
ඒක දිග කළුවරක්
හරියට
ඒ කාලෙ ආණ්ඩුව
ග්‍රැමොක්සෝන් තහනම් කළේ
වෙලාවට..
අන්න ඒ පාලම යට
තවම ගැඹුරුයි හරියට
දැනුත් හැමදාම නාන කොට
වතුර කට්ටක් තියනවා මං
කැමති කිරිල්ලියකට.
සජිත් පට්ටියකුඹුර
සුරංගනාවියෝ එක්ක
ගිමන් හරින අහස් නැවෙන්
වලාකුළක් ගෙන එන්නට
පුංචි දුවට අතට දෙන්න
සීනිබෝල ගෙන යන්නට
කාසි හඬක් නොනැඟෙන
මේ පන්මල්ලේ හිස් අඩියට
අත යොමුකර සෙව්වේ මම
හිතේ තිබුණ බර හුස්මට
අඩ අඳුරේ දෙවට දිගේ
ගොම්මන් කළුවර වැටෙද්දි
සඳ හෙමිහිට කඩුල්ල ළඟ
මා එනකම් තනි රකිද්දි
දවසේ වැඩ ඉවර වෙලා
හිස් දෑතින් ගෙදර එද්දි
දුව හිනැහෙයි හුරතලේට
සුරංගනාවියෝ එක්ක
පිල්කණ්ඩියෙ තනිවම
කුප්පි ලාම්පුව දැල්වී
කුසගිනි මැරු කහට එකට
ආදරෙ රස එකතු වෙද්දි
තවත් බත් කටක් දෙන්නට
පුංචි කටක් දිග හැරෙද්දි
ජිවිතයේ බර නොදැනෙයි
උන්ගෙ සිනහ හිත පුරද්දි
නලිනි ද සිල්වා
ඔරිගාමී ජීවිතයක්
සතර කොන සතර මුළු
එක්කාසු කරමින්
නැවුම් රේඛාව මත
ආදරය තබමින්
විටක රුදු ගතිය ගෙන
තෙරපා සුසෙමින්
මේ දිවිය හැඩ කළා
චිත්‍රයක් මවමින්
බොහෝ කල් ගත වු පසු
ඔබ නොමැති බැවිනි
සෙමින් දිග හරින්නට
මේ කොළය සිතුණි
එකදු සුළු ඉරීමක්
කිසි තැනක නොවිණි
ඒත් ඒ නැවුම් ඉරි
මතක පෙත ඇඳිණි
මහ වෙදගේ තරිඳු
මෙදූසා
කෙස් ලොම්ද නිය දත් ද ගැලවී
ඇටත් ඇටමිදුලුත් සිඳී
සම ඉරී නහරද කැපී
රුධිරය ගලද්දී ගඟ සැදී
පා පැළී දෑඟිලි තැළී
සත් කඩට හිස හදවත බිඳී
තිබියදිත් නැවතත් වරක් ඈ,
ප්‍රේමයට රැවටෙන ලදී
නාඳුනන මළ සිතක් දවසක්
පෙම්වතෙක් වළලන ලදී
කලණි විජේවර්ධන
පිම්ම
පැද්දෙන අත්තක
ඒ කහ කුරුලු ජෝඩුව
පිම්මකට සැරසෙයි
පියාපත් යුග පිරිමැද මැද
චන්ද්‍ර නිශ්ශංක හපුආරච්චි
යුක්තියේ නීතිය
සිල්ලර අවිය ගින්දර සේ ම
පෙළුවෙ අවිහිංසක ම හිත්
නිම්තෙර නොමැති නිස්සර සසර
දුටුවෙ නැති හිංසක එ’නෙත්
යුක්තිය මනින නීතිය රඳන
දෑස් අඳ දෙවඟනගෙ අත්
තුලා කුමට ද කණවැලක් දෙව
දෙවියනේ බල හැර දෙනෙත්
අනේ යුක්තිය පසිඳලන්..
අගතිය නොවන නීතිය කරන
ගුණ දහම් පතිපත් මතින්
උතුම් මනුසත් නීතියට වැඳ
අධිකරණ රජ කරවපන්
අනේ යුක්තිය පසිඳලන්..
උෂානි ආරියවංශ
රාමුව
දොරකඩ
රතු මැයි ගස
අතු ඉති මල්
බිම හැලුවේ
එක විදිහකට
හරියට ම
ඊයේ රෑ ඔයා
අපේ මඟුල් පින්තූරය
බිම ගහපු විදිහට ම
අද උදේ
රාමුවෙන් පිට පැන්න අපි
හිටියේ
බිත්තියට පිට දීලා
නිරුවත්ව
ඒත්
ඵ් මුහුණුවල
තිබුණා හිනාවක්
පෙර නොතිබිච්ච
ආයෙම
රාමුවෙන්න අදහසක්
මගේ නෑ
ඔයාගෙත් එහෙම නේද
ෂර්මිලා බංදුනී දංවත්ත
ලෙඩ ඇදේ නුඹට
නිදන් ඉදියත් සොදුරියේ නුඹ
අද ඇදක් උඩ වැතිරිලා
කාලයක් ළඟ ඉදියා සතුටින්
මගේ තුරුලේ සැතපිලා
නොකියෙනා කවි ගොඩක් ඇත මා
නොලියුව් හදවතෙ සැඟවිලා
අපිට අපි ගැන කතා වෙන්නට
තවම ඇත පෙම හැඩවෙලා
වාරු නැති වුණු කයේ පහසට
නැහැනෙ ප්‍රේමය හැකිළිලා
නමුත් ඔය ආදරයේ අතැඟිලි
තවම මගෙ හද වුණු කළා
මගේ ඇස් පියවෙනා මොහොතක
නුඹ ඉන්න ළඟ සැනසිලා
එතෙක් ඉවසන් දරන් ඉඳපන්
මා ළඟින් පෙම වපුරලා
ගිහාන් ප්‍රනාන්දු
බුවනෙකබා
ඇත්තටම ඔයාට පිස්සු තිබුණද
අනාගතේදී
මී හරක් පාලනය කරන රටක
රාජසභා මණ්ඩප
කුරුණෑගල ටවුමෙම අටවන්න..
රාවණා උනත්
සේරෝම හංගන්න ඇත්තෙත්
ඒ නිසා වෙන්න ඇති
සීගිරියත් ලොකු වැඩිනෙ
ඔන්න ඕකත් කඩල දාන්න
ගල්කුරියට ගන්න
ආහ් ! අර එහා පැත්තෙ
මියුසියම් එක තියෙන්නෙ
ඒ මදෑ සිහිවෙන්න..
මොකො කාශ්‍යප එනවයැ
ආයෙ චෙක් කරන්න
ආහ් !එතකොට
අර සීගිරි සිතුවම්
නෑ ඒව ඕනි නෑ
නිරුවතින්නෙ උඩුකය..
අපේ ළමයි හදාගන්න ඕනි.
හොඳ ආදර්ශයක් නෙවිනෙ ඒක..
චිත්‍ර වැදගත් නෑ අපට…
ඕව කඩලම දාන්න
තිබුණ කියල
වෙච්ච සෙතක් ඇතෑ රටට….
එන්න අපි දෙමු ඒකත් චීනෙට
නැත්නම් අමෙරිකාවට
ෂුවර්
මීක් කියන් නෑ කට්ටිය….
බුවනෙකබාහු ත් කළේ
ඕනෙ නැති වැඩක්මයි
අනවසරෙන් මණ්ඩප හදල තිබ්බට
හොඳ වැඩේ හූ ඇද්ද…
මෙලනි තෙන්නකෝන්
අප්පච්චී
හිතම ගස්සන නිශාචර හඬ
ඇහෙයි තිස්සෙම දිරපු උළු උඩ
වකුටු වෙන්නම් අඳුරු මුල්ලක
මක් කරන්නද අප්පච්චී…
මම…
දුකම විඳගත් සිතැත්තී…
වෙහෙසකර යුග නුවන් රවටා
මැකෙන සිතුවම් ළයෙහි ඇඳලා
යන්න මෙතරම් ඇත්ද වත්කම්
ලොවේ කොතැනක හැංඟිලා…
යනෙන මඟ තොට එන්න බැහැ තව
රුදුරු විස ඇති සපුන් හැමතැන
ගී හඬින් මඟ අසා එනු මැන
ලෝකයම දැන් ඇහැරිලා…
ශාලි එදිරිසිංහ
පමාව
තේ කෝප්පයෙහි මුහුණත
දුම් වළලු
දැන් දැන් උස්ව නොනඟියි
සැඳෑවේ රතුරෝස සිත්‍තම්
අලු පෑයකට හැරෙයි
ඔබ පමා වේ යැයි සිතෙයි
නව යොවුන් වීදියෙහි
පෙම්වතුන්
උරි’නුර පියමනියි
මගේ අතැඟිලි
ඔබේ අතැඟිලි යදියි
මා පමා වීදැයි සිතෙයි
වරුසාව
රාත්‍රිය දියබත් කරයි
නිදි බිඳින්නේ
හීන් තත්පර කටුව පමණයි
පිපුණු හීගඩු නිවී
උදෑසන එළැඹෙයි
රැය නිමාවූ බැව් පෙනෙයි
සංසාර චාරිකාවක අනවරත
නැව්තොටින් නික්මෙන
නෞකාව
අවසාන පණිවුඩය හඬවයි
සුහද,
අප පමා වූවා වැඩියි
අමා ඔවිනි අලුත්ගේ
පසුතැවිල්ල
කඳුළින් කටු මතින් මෙන්ම
තුටින් සිනා සැලු
ජීවිතය නතර වී
බලා ඉදිමි කැණි මඬල
මකුළුවෙක් වියයි දැල
අටපට්ටම් හැඩෙන්
අවසැඟය දෑත් දෙපා
හිත දුවයි ඈත මෑත
කළ කි දෑ සිහිව
නොකළා නම් හොඳයි
සිහිවෙයි බොහෝ තැන් …
කළා නම් මා හැඟිය
අනේ අපොයි බැරිම විය
නන්දිකා හේමාලි
දොඩමලු වනු වස් යළි හමුවනු නම්…
හමුවෙලා කල්පෙකින්
හිනාවක් බෙදාගෙන
රළ ඇවිත් කිති කවන
වැව් බැම්මේ ඉඳගමු
ගොළුවතට හඬකවන
නෙත් කැලුම් අලෝගෙන
හිනාමල් පොරි වැවේ
මාළුන්ට දන්දෙමු
තුරුලු වී සුළඟකට
අඳුර දඟවන නිසා
නෙතු සලා හිස නවා
වෙන් වෙමු
යළිත් නුඹ දකින්නට
ඉනාවක් ඇති නිසා
මුදුව ලූ ඇඟිලි මිස
දෙතොල් නම්
කිසිවිටක නොසිඹිනු
දිල්මිණී හසින්තා අබේරත්න
මට තාම පහයි
පේනවාද අවුරුද්දයි
මාසෙයි දවසයි
තාම ඒ ලියපු කෝටු කෑල්ලේ
අඟ බිදුණු රාටවවත්
මැකිල නැති හැටි
ඔව් අවුරුදු විසි ගානකට කලින්
අලුත්ම
කොලොප්පු මත සමරුව තිබ්බ
බාස් උනෑන්හේ..
දැන් මිනිහ මැරිලත් ඇති.
සිමැන්ති වියළිලා ඉරි තැළිල
තැනින් තැන
සමරු ඉලක්කම් දිලිසෙනව අගේට
ගෙදර බිත්ති පාට කරල
උළු වහල ගලවල
ෂීට් හෙවිල්ලලා
මේ පේමන්ට් එක තාම එහෙමමයි
අලුත් වෙන්නෙම නෑ නේද.?
ඔව් එතකොට මටත් පහයි
මමත් තාම එතනමයි
අලුත් වුණේ නෑ
ඔන්න ඔතන වතුසුදු ගහක් තිබුණා
ඒකෙ මල් ඉත්තක් කඩල ගත්ත
බාසුන්නැහේ..
හරිම වේගෙන් ඔය සමරුව තිබ්බෙ
මට අද වගේ මතකයි.
තාත්ත ගෙදර එන්න
විනාඩි පහයි තිබ්බෙ
එයා එදා වැඩට යද්දි මම
හයියෙන් ඇඬුවා
බෝගම්බර වහනකන්ම
අම්ම බත් බැන්දා
හර්ෂ ප්‍රභාත් කීරවැල්ල
අස්වාමික වසන්තය
ශිල්ප සතර සොළොස්කලා ලද අඹර
අදුරු හීන හිත පාරයි පහන්දොර
එක්ටැම් ගේ මව්පිය සෙවණැලි අතර
බලා සිටිමි කුරුලු ජෝඩු පියාසර
අවලස්සනම පෙම්වතියකි වනන්තර
සෙබඩත් පින්සාර කුමරා රණ මොනර
ලිහිණින් ගිරා යුවල් පෙමින් අතු පතර
කිරිල්ලියක් වුණි නම් මමත් පින්කාර
ඊළඟ විවාහය විමසන දනන් මැද
මිතුරියන්ගෙ සුපෙම් පුවත් කතා වද
රටත් අසාරයි දුප්පත් හීන බිඳ
තනි තරුවක් බැබළේවිද දුක්ම විඳ
කඳුළු වලාකුළු හිස තැබූ කදු දෙවුරු
සඳ තනි නොවේ සැඟවී රැකි හිරු කුමරු
හොඳ ගස් වැලඳ ගත්තා තුරුවැල් මහරු
මිහිලිය පවා ලද සස්වාමික පවුරු
නිසි කල නැති විට වස්සානෙක සුවය
ළවැලිතලාවක වුව නැත තෙතමනය
පිපුණු මලක් නොම වූවොත් පෙම්වතිය
වසන්තයම හද උයනේ සුසානය
සුධර්මා සමරසේකර , කොළඹ විශ්වවිද්‍යාලය
අනේ මන්දා
කුමක් දෝ වූ වරද දන්නෑ
නිහඬවම ඈ වැලපෙයි
උරහිසෙන් සොලවා ඇසූවත්
අනෙක් ඇලයට පෙරළෙයි
“අනේ මට මගෙ පාඩුවේ
ටිකක් ඉන්නට දෙන්නැ’යි
හිස මඳක් මා දෙසට හරවා
නොරුස්නා ලෙස ඉල්ලයි
මා අතින් වූයේ කුමක්දැයි
සිත සිතා හිත ළතැවෙයි
සිතූවත් පිළිතුරක් නෑ හිත
නොඉවසිල්ලෙන් පසුවෙයි
අනේ මන්දා එකම කරුණක්
මගේ හිත තුළ පැසවයි
පිරිමි හිතකට ගෑනු හිත්
කියවන්න මෙතරම් බැරි ඇයි?
දිනීප මධුෂාන් නානායක්කාර
පෑරෙනා මතක
උයන් තෙර පිපුණු විට
මලක අසිරිය නැතිද
ගෙමිදුලේ රොන් සුවඳ
පවනටත් ළඟ වැඩිද
විහඟ ගී නිම්නාද
දෙසවනට අමිහිරිද
හිතින් නොව ගතින් අපි
ආ මඟට සමුදෙමුද
ගස දරන මුදුන් මුල
මලේ රුව දකිනවද
මිහිකතම බදාගෙන
හුස්ම පණ රකිනවද
පරවෙලා වැටෙන විට
ගසට දුක දැනෙනවද
පෑරෙනා මතක ගෙන
අපි අපෙන් වෙන්වෙමුද
සිනාසුණ පිනිබිඳට
වරද පැවරුවෙ හිරුද
ඉගිල ආ බඹරෙකුට
යන්න කීවේ මලද
වැහි කෝඩ ඉවසන්න
වලාවට පුලුවන්ද
බැරිම තැන අපි අපෙන්
දෙමංසල වෙන්වෙමුද
මහගම සීලානන්ද හිමි