අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා මේ මස 13 වැනි දින දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදි හේවාවසම් මහත්මිය නියෝග කළාය.
මෙම සිද්ධියට අදාළ නඩුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මඟින් ඊයේ (6) අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවා සැකකාර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මේ නියෝගය කළේය.
සැකකාර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා පසුගිය 5 වැනිදා කොළඔදී අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.
මෙහිදී සැකකාර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ උපාලි ජයමාන්න මහතා මීට පෙර ස්වකීය මූලික කරුණු දැක්වීම්වලදී පැවසුවේ නීතිය පිළිබඳ ඇමැති ටිරාන් අලස් මහතාගේත් පොලිස්පතිවරයාගේත් පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන් පිරිසකගේත් බලපෑම මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තම සේවාදායකයා දඩයම් කිරීමට උත්සාහ දරන බවයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම සම්බන්ධ බවට කිසිදු විමර්ශනයකදී කරුණු අනාවරණ වී නොමැති පසුබිමක ඔහු මෙම වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවකු ලෙස නම් කළේ කෙසේදැයි නීතිඥවරයා ප්‍රශ්න කර සිටියේය.
විරන්ජිත් තාඹුගල නමැත්තකුගෙන් නීතිය හා සාමය පිළිබඳ ඇමැතිවරයා සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් රුපියල් කෝටි 30කට අධික කප්පම් මුදලක් ඉල්ලීමේ සිද්ධියකට අදාළ නඩුවක් අධිකරණයේ පවතින බවත් එම කප්පම් ඉල්ලීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් නීතියේ රැහැනට හසු කර ගැනීමට තම සේවාදායකයා ද (හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම) සහාය දක්වා ඇති බවත් ඒ හේතුව මත නීතිය භාර ඇමැතිවරයා සහ පොලිස්පතිවරයා මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් පළිගනිමින් සිටින බවද නීතිඥවරයා ප්‍රකාශ කළේය. මෙම වෙඩි තැබීමෙන් තමා ඝාතනය කිරීමට උත්සාහ කළ බවට සහ තම මෝටර් රථයට හානි සිදු වූ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ස්වකීය පැමිණිල්ල මඟින් ප්‍රකාශ කොට නැති බවත් පැවසූ නීතිඥ ජයමාන්න මහතා එවැනි පසුබිමක තම සේවාදායකයාට එරෙහිව මිනී මැරුම් සහ අනර්ථය සිදු කිරීම සහ ආධාර අනුබලදීමේ චෝදනා එල්ල කරන්නේ කුමන පදනමක් මතද යන්න ප්‍රශ්න කරන බවත් සිය සේවාදායකයාගේ රාජකාරි (සංජීව මහනාම) පිස්තෝලයෙන් වෙඩි උණ්ඩ පිටවී නැති බවට රජයේ රස පරීක්ෂකවරයා තහවුරු කර ඇති බවත් කියා සිටියේය.
මෙම සිද්ධියේ මුල සිටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වරින්වර පරස්පර කරුණු ඇතුළත් වැඩිදුර වාර්තා අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් එවැනි වැඩිදුර වාර්තා ලෝකයේ කිසිදු රටක දක්නට නැති බවත් තම සේවාදායකයාට අපක්ෂපාති ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා සිටින බවත් අවධාරණය කළ නීතිඥවරයා, මෙම වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අධිකරණය හමුවේ පවතින නඩුවෙන් සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මුදා හරින ලෙසත් මේ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර සුදුසු වෙනත් විමර්ශන කණ්ඩායමකට පවරන ලෙසත් අයැද සිටියේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වමින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැනුම් දීමට වෙනත් දිනයක් ලබා දෙන ලෙසත්ය.
පැය දෙකකට අධික කාලයක් දෙපාර්ශ්වය දැක්වූ කරුණුවලින් අනතුරුව සැකකාර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස නීතිඥයන් කළ ඉල්ලීම අතිරේක මහේස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කළාය.
එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් විනාඩි 45ක පමණ කාලයක් දීර්ඝව සිය නියෝගය විග්රහ කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකාර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින්ට දැනුම් දුන්නේ ඇප ඉල්ලීම් ඉටු කිරීමට මෙම අවස්ථාවේ තම අධිකරණයට හැකියාවක් නොමැති බවයි.
අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මේ වන විට රහස් පොලිසිය විසින් සැකකරුවකු ලෙස නම් කරනු ලැබ ඇත. ඒ අනුව සැකකාර හිටපු සහකාර පොලිස් අධිකාරිවරයාට විදේශගත වීම අධිකරණය මඟින් තහනම් කොට තිබේ.
රහස් පොලිසිය තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව පවසමින් එලෙස අත්අඩංගුවට ගත හොත් තමා ඇප මත මුදාහරින ලෙස රහස් පොලිසියට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම ජ්‍යෙෂ්ඨ නීතිඥ උපාලි ජයමාන්න මහතා මඟින් අධිකරණයට ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පතක් අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදි හේවාවසම් මහත්මිය මීට පෙර ප්‍රතික්ෂේප කළාය.
පැමිණිල්ල වෙනුවෙන් අපරාධ
පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රෝහණ
ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත මිනී මැරුම් විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා මහතාගේ
මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක සිරිවර්ධන මහතා සහ එම
කොට්ඨාසයේ නිලධාරීන් පෙනී සිටි අතර සැකකාර සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම වෙනුවෙන් නීතිඥ ඉසුරි ලියනගේ සහ මදාරා විජේසිංහ සහ සුසිල් සිරිවර්ධන යන මහත්ම මහත්මීහු සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥයින් වන උපාලි ජයමාන්න සහ රංජිත්
රාජකරුණා යන මහත්වරු පෙනී
සිටියහ.
අනුරාධපුර අධිකරණ – උපාලි ආනන්ද