Home » ශ්‍රී ලංකා-එංගලන්ත අවසන් ටෙස්ට් තරගය අද සිට

ශ්‍රී ලංකා-එංගලන්ත අවසන් ටෙස්ට් තරගය අද සිට

වෙනස්ම සැලසුමකින් ඕවල් පිටියට එන බව දිමුත් කියයි

by mahesh
September 6, 2024 1:00 am 0 comment

සංචාරක ශ්‍රී ලංකා පිල හා එංගලන්තය අතර, තෙවැනි අවසන් ටෙස්ට් තරගය අද ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. ශ්‍රී ලංකා පිලට එරෙහිව 2-0ක් ලෙස ටෙස්ට් තරගාවලියේ ඉදිරියෙන් එංගලන්තය පසුවන අතර, අද තරගය දෙපිලටම ඉතා තීරණාත්මක වේ. පසුගිය ජූලි මාසයේදී පැවති බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි තරගාවලිය 3-0ක් ලෙස සම්පූර්ණ ජයක් එංගලන්තය ලබා ඇති හෙයින් මේ තරගාවලියද එලෙස නිමාකොට පිට පිට ටෙස්ට් තරග 6ක් ජය ගැනීමට සද්කාරකයෝ බලා සිටිති.

නමුත් මේ තරගයේ දෙපිලටම ප්‍රතිවාදියා වී ඇත්තේ කාලගුණය බවට අනාවැකි පළවෙමින් පවතී. කාලගුණ අනාවැකි අනුව වර්ෂාව පතිත විය හැකි අතර, දකුණු ලන්ඩනයේ අහස මීදුමෙන් බරව පවතී. එබැවින් නියමිත පරිදි කාල වේලාවන් තුළදී ටෙස්ට් තරගය පැවැත්වීමට හැකිවේදැයි සැක සංකා මතුව තිබේ.

එංගලන්ත පිලේ එක් වෙනසක් සිදුව ඇති අතර, වමත් වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හුල් ඔහුගේ ජාත්‍යන්තර මංගල තරගයට සහභාගි වීමට අපේක්ෂාවෙන් සිටී. මැතිව් පොට් වෙනුවට පිටියට පිවිසෙන ජොෂ් හුල් ලෙස්ටර්ෂයර් පිලට ක්‍රීඩා කරමින් සිටී. පළමු පෙළ කඩුලු 16ක් පමණක් දවාගෙන ඇති උස අඩි 6 අඟල් 7ක් වූ 20 හැවිරිදි ඔහු ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකාව සමඟ පැවති පුහුණු තරගයේදී එංගලන්ත ලයන්ස් කණ්ඩායමට ක්‍රීඩා කොට කඩුලු 5ක් දවා ගත්තේය.

තෙවැනි ටෙස්ට් තරගය වෙනුවෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා අත්දැකීම් බහුල පිතිකරු දිමුත් කරුණාරත්න පැවසුවේ නව සැලස්මක් යටතේ එංගලන්තයට මුහුණදීමට සිදුව ඇති බවයි.

“පසුගිය තරග දෙකේදීම අපේ සියලු සැලසුම් අසාර්ථක වුණා. ඒ නිසා අද ආරම්භවන අවසන් ටෙස්ට් තරගයේදී වෙනම සැලසුමක් සහිතව ක්‍රීඩා පිටියට අවතීරණ විය යුතුයි. අපිට අවශ්‍ය හොඳ තැනකින් තරගාවලිය ඉවර කිරීමයි. එංගලන්තයේ පිතිකරුවන්ට අමාරුයි සෙල්ලම් කරන්න. ගොඩක් අය ලෝඩ්ස්වල ශතක ලබාගෙන නෑ. මාත් ඒ ගණයට වැටුණා. අත්දැකීම් බහුල අය හැටියට අපි නිතරම කතා වෙනවා කොහොමද හොඳින් කරන්නේ කියා. නවක පිතිකරු කමිඳු හොඳින් ක්‍රීඩා කළා. ලොකු ලකුණු ගණනක් අරන් එංගලන්තයට පීඩනයක් දෙන්නේ කොහොමද කියන එක අපි බලනවා. අපේ මුල් පෙළ අසාර්ථක වුණා. ඒක හදා ගන්න වෙනවා” දිමුත් කරුණාරත්න පැවසීය.

“මම හිතන්නේ තරගවල හැරවුම් ලක්ෂ්‍ය තමයි ජෝ රූට්ගේ ඉනිම. ජෝ රූට් වටේ හැම පිතිකරුවකුම එක් වෙලා ඉන්නේ. ඔහු ගාල්ලේදී ඔහු විශාල ලකුණු ප්‍රමාණයක් ලබා ගත්තා. ඔහුට පීඩනයක් දෙන්නේ කොහොමද කියන එක අපි සැලසුම් කළ යුතුයි. ඔහුට එපා කරවලා දවා ගැනීමත් උපක්‍රමයක්” දිමුත් කරුණාරත්න සඳහන් කළේය.

ලෝඩ්ස් පිටියේදී පැවති දෙවැනි ටෙස්ට් තරගයේදී කාසියේ වාසිය දිනාගෙන පළමුවෙන් පන්දු යැවීමට ගත් කුතුහලය දනවන තීරණය හේතුවෙන් එංගලන්තය ආරම්භක දිනයේ දී කඩුලු 6කට ලකුණු 216ක් ලබාගත් අතර, ජෝ රූට් ඉනිම දෙකේදී ශතක 2ක් ලබා ගත්තේය. එමෙන්ම අංක 8 පිතිකරු ගස් ඇට්කින්සන් ලකුණු 118ක් ලබා ගැනීමත් කැපී පෙනිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT