Home » ජනපති රනිල් අමාරුවෙන් ගොඩගත් රට පාලනය කරන්න සජිත්-අනුර දැන් පොර කනවා

ජනපති රනිල් අමාරුවෙන් ගොඩගත් රට පාලනය කරන්න සජිත්-අනුර දැන් පොර කනවා

by mahesh
September 6, 2024 1:00 am 0 comment

අසේල කුරුළුවංශ

කවුරුවත් වගකීම භාර නොගෙන පැන යද්දී රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වී අසීරුවෙන් ගොඩනැගූ රට පාලනය කිරීමට දැන් සජිත් අනුර දෙදෙනා පොරකමින් සිටින්නේ යැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිළුම් අමුණුගම මහතා පවසයි.

එක් පුද්ගලයකුට එක ඩොලරයක් මට්ටමට රටේ ඩොලර් සංචිත අඩුව තිබිය දී සජිත්, අනුර රට භාර ගැනීමට ඉදිරිපත් නොවුණේ යළි රට ගොඩගැනීම කෙසේ වෙතත් එමගින් තමන්ගේ දේශපාලන අනාගතය ද විනාශ වන බව දන්නා නිසා බවත් රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ දේශපාලන අනාගතය ගැන නොසිතා ගත් තීන්දුව සම්බන්ධයෙන් සියලු දෙනා ඒ මහතාට කෘතඥතාව පුද කළ යුතු බවත් අමුණුගම මහතා කීවේය.

මහනුවර සහස් උයනේ දී පසුගියදා පැවැති ජනහමුවක දී දිළුම් අමුණුගම මහතා එසේ පැවසීය.

පාර්ලිමේන්තු ක්‍රමයේ ආණ්ඩු පක්ෂයක් හා විපක්ෂයක් තිබෙන්නේ කිසියම් මොහොතක ආණ්ඩුවට බලය නැති වී ගියොත් හෝ ආණ්ඩුව බලය හිතාමතා අත්හැරියොත් විපක්ෂය ඉදිරිපත් වී ආණ්ඩු කිරීමටයි. අපේ ආණ්ඩුව බලය අත්හරිද් දී විපක්ෂය කළේ ආණ්ඩුව ගන්නවා වෙනුවට ඒ අයත් බලය අත්හැරීමයි. එහෙම වෙලාවක තමයි රනිල් වික්‍රමසිංහ මහතා මේ අභියෝගය භාර ගත්තේ. බංකොලොත් වූ රටක් නැවත ධන ආර්ථිකයක් කරා ගෙන යෑම ලෙහෙසි පහසු කාරණයක් නොවෙයි. යම් විදිහකින් රනිල් වික්‍රමසිංහ මහතා අසාර්ථක වූවා නම් එතුමාගේ දශක හතරක දේශපාලනයම ඉවරයි. නමුත් එතුමා අභියෝගය සාර්ථකව ජයගත්තා. දැන් මේ රට ඉදිරියට ගෙනයෑම අසීරු නැහැ. ඒ නිසා තමයි සජිත්- අනුර බලය ලබා ගන්න මේ තරම් පොර කන්නේ.

පක්ෂ නායකයන් ලෙස රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන් සජබ සමඟ හිටියත් ඒ පක්ෂවල සෙසු මන්ත්‍රීවරු ඉන්නේ රනිල් සමඟයි. සජිත් එක්ක පක්ෂ එකතු වුණාට වැඩක් නැහැ. ඒ පක්ෂවල මිනිස්සු ඉන්නේ අපිත් එක්කයි. ජනපතිවරණය ජය ගැනීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා මේ පාර්ලිමේන්තුවත් එක්ක තව ටික කලක් වැඩ කරයි. මම හිතන්නේ නැහැ ඉක්මනින් පාර්ලිමේන්තුව විසුරුවා හරියි කියලා. කොහොම වුණත් පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ පැවැත්විය යුතුයි. රනිල් එන්නේ ඉදිරි වසර පහක් සඳහා වන සංවර්ධන සැලැස්මක් සමඟයි. මේක ක්‍රියාත්මක කරන්න අපි අවස්ථාවක් එතුමාට දිය යුතුයි. අපි හැමදාම කළේ පක්ෂය නම් කරන අපේක්ෂකයා දිනවන්න කටයුතු කිරීමයි. ඒ පුද්ගලයාට රටක් පාලනය කරන්න පුළුවන් ද කියා අපි කවදාවත් සොයා බැලුවේ නැහැ. මෙවර ඒ සියල්ල වෙනස් වුණා. අද අපි වැඩ කරන්නේ පක්ෂයේ අපේක්ෂකයෙක් දිනවන්න නොවෙයි. රටක් පාලනය කරන්න පුළුවන් ඒක කරලා පෙන්නපු නායකයෙක් දිනවන්නයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT