මෑත කාලයේ ශ්‍රී ලංකාවේ කාටූන් ශිල්පීන් පිළිබඳව විමසිලිමත් වීමේදී ජී.ඇන්. ප්‍රනාන්දු, බී.බී. ඕපාත, බෙවිස් බාවා, ඕබ්රි කොලට්ස්, විජේසෝම, යුනුස්, අමිත අබේසේකර වැනි කාටූන් ශිල්පීන් හමුවේ. ඉහත නම් සඳහන් කළ කාටූන් ශිල්පීන් සියලු දෙනාම පාහේ සමාජමය කරුණු මෙන්ම දේශපාලනික කාටූන් ඇඳීමේ රුසියෝ වූහ. කාලයෙන් කාලයට වකවානුවෙන් වකවානුවට ශ්‍රී ලංකාවේ දේශපාලන මුහුණු බහුතරයක් කාටූන් ශිල්පීන් අතින් නිර්මාණය වන්නට විය. යම් යම් අවස්ථාවන්වලදී ඒවා පක්ෂව මෙන්ම විපක්ෂවද ඇදි නිර්මාණයන් විය. කෙසේ වෙතත් සමස්තයක් ලෙසින් ගත්කල මෙකී කාටූන් ශිල්පීන් දේශපාලඥයින්ට හිසරදයක් තරම් විය.
ඉතිහාසගත කරුණු අනුව ‘දිනමිණ’ පුවත්පතේ ‘මුදලාලි’ කාටූනය මුල්ම කාටූනය ලෙසින් හැඳින්වෙන අතර 1931 පමණ වන කාලයේදී ජී.ඇස්. ප්‍රනාන්දු විසින් ස්වදේශ මිත්‍රයා පුවත්පතට ඩොනමෝර් යෝජනා විවේචනය කරමින් කාටූන් නිර්මාණය කරන්නට විය. එහෙත් දේශපාලන කාටුන් විධිමත් අයුරින් නිර්මාණය වීම ආරම්භ වූයේ ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසුවය. ලංකාවේ පළමු දේශපාලන කාටූනය නිර්මාණය වූයේ ටයිම්ස් ඔෆ් සිලෝන් පුවත්පත වෙනුවෙන් ඔබ්රි කොලට් අතිනි. ඔහු නිර්මාණය කළ කාටූන් නිර්මාණ සමාජයේ සෑමදෙනා අතරම කතාබහට ලක්වූ අතර වරක් කාටූන් ශිල්පීන් වෙනුවෙන් සිදුවන අතවරයන්ට එරෙහිව කාටූනයක් නිර්මාණය කරන ලදි. එහි දැක්වූයේ දෑත් සහ කට බැඳ දමා තිබූ කාටූන් ශිල්පියකු කකුලෙන් චිත්‍ර අඳින ආකාරයයි. ඔහු වරක් සර් ජෝන් කොතලාවල කාටූනයකට නිර්මාණය කිරීම නිසා කොලට්ව කඳවල වලව්වට කැඳවා සංග්‍රහ කිරීමට ද සර් ජෝන් අමතක නොකළේය. කලක් ලේක්හවුස් පුවත්පත් සඳහා කාටූන් නිර්මාණය කළ කොලට් පසුව ඔස්ට්‍රේලියාවේ Melbourne Herald පුවත්පත හා සම්බන්ධ විය.
කිසිවකුටත් පක්ෂග්රාහී නොවී පහර ගැසිය යුතු තැනට පහර ගැසූ කාටූන් ශිල්පියකු ලෙසින් නම්කළ තනි අයකු වන්නේ ජී.ඇස්. ප්‍රනාන්දුය. බණ්ඩාරනායක මහතා, සිරිමාවෝ, ඉලංගරත්න, ඩඩ්ලි, ජේ.ආර්. යන චරිත සියල්ලෝම ජී.ඇස්.ගේ කාටූන් අතර දිස්විය. වරක් ඔහුට හොරගොල්ල වලව්වට පවා යාමට සිදුවූයේ බණ්ඩාරනායක මහතා වඳුරකුට සමාන කර නිර්මාණය කර තිබූ හෙයිනි. එපමණක් නොව ඔහුට කඳවල වලව්වට යන්නටද සිදුවිය. ඒ ඔහු සර් ජෝන් කොතලාවල ඇදගෙන යන අයුරුත් එළදෙනුන් පිරිවරාගෙන සිටින අයුරින් දැක්වෙන කාටූනය නිර්මාණය කිරීම හේතුවෙනි. එමෙන්ම වරක් අගමැතිවරයකුව සිටි ඉලංගරත්නයන් හාස්‍යයට ලක්කර කාටූනයක් නිර්මාණය කර තිබිණි. මෙසේ තමා හාස්‍යයට ලක්කර කාටූනයක් නිර්මාණය කළ ජී.ඇස්. ප්‍රනාන්දුට ඔහු කවියක් ලියා යැවුවේය.
“මං ගහන ගැහුමෙන්
ඔබට සැපතක් වේ නම්
තව තව තවත් ගහමින්
සැපත ළංකරගන්න යහමින්” යනුවෙනි.
මෙයින් පසු ඉලංගරත්න මහතා ඡන්දයට ඉදිරිපත් වීමෙන් පසු තම ආසනය ජයග්‍රහණය කරන්නට සමත්විය. ඉන් පසු ජී.ඇස්. ප්‍රනාන්දු ද ඔහුට පෙරලා කවියක් යැවීය. එය මෙසේ විය.
“ඔබ දිනුම ලද තැන
පවතී මිනිස් යහගුණ
ආදරය පිළිගෙන
බැණුම් අසමින් සිනාසෙනු මැන”
යනුවෙනි. එමෙන්ම ලාංකේය දේශපාලනයේ තවත් නම්කළ හැකි කාටූන් ශිල්පියකු වන්නේ විජේසෝමයි. ලංකාදීප පුවත්පතට සෝදුපත් බලන්නකු ලෙස එක්වූ විජේසෝම කාටූන් ශිල්පියකු ලෙසින් එක්වූයේ ඩී.බී. ධනපාලගේ මගපෙන්වීමත් සමඟිනි. ඔහුගේ ජනප්‍රිය කාටුනයක් වූයේ “පුංචි සිඤ්ඤෝ”ය. එය අතිශය ජනප්‍රිය කාටූනයක් විය. පුංචි සිඤ්ඤෝ චරිතය තුළින් ඔහු පවතින දේශපාලනයෙන් බැටකෑ අයකු ලෙසින් මධ්‍යස්ථව කාටූන් නිර්මාණය කිරීමට සමතකු විය.
තවත් කාටූන් ශිල්පියකු ලෙස නමක් දිනාගන්නට සමත්වූයේ යුනුස්ය. අප්පුහාමි නමින් ද කාටූනයක් නිර්මාණය කළ ඔහු ඔබ්සවර් පුවත්පතේ මෙන්ම තිනකරන් පුවත්පතේ කාටූන් ශිල්පියා ලෙසින් නමක් දිනාගන්නට සමත්විය. ඔහු වඩා ජනප්‍රියත්වයක් දිනා ගැනීමට සමත්වූයේ ඇත්ත පුවත්පතේ කාටූන් ශිල්පියා ලෙසින් සම්බන්ධවීමත් සමඟය. යුනුස්ගේ කාටූන් අතිශය ජනප්‍රියත්වයට පත්වීමත් සමඟ ඔහුට මරණ තර්ජන පවා එල්ලවිය. වරක් දේශපාලන විරුද්ධවාදීන් විසින් ඔහුව පැහැරගෙන ගොස් නාසය පවා ම්ලේච්ඡ අයුරින් තුවාල කර තිබිණි.
දේශපාලන කාටූන් ක්ෂේත්රයේ නමක් දිනා සිටි තවත් කාටූන් ශිල්පියකු වන්නේ එස්.සී. ඕපාතයි. ඔහුගේ නිර්මාණශීලී සේවය වැඩිදුරටත් ලබාදුන්නේ ලේක්හවුස් පුවත්පත් සඳහාය. ඉන්පසුව ඔහු සන්ඩේ ලීඩර් පුවත්පත හා සම්බන්ධ විය. ඔහු වරක් දේශපාලන කාටූන් ශිල්පීන් පිළිබඳව මෙසේ සඳහන් කර තිබිණි.
“දේශපාලන කාටූන් චිත්‍ර ශිල්පීන් කළ යුත්තේ දේශපාලනඥයන් සතුටු කිරීම නොවේ. දේශපාලනඥයන්ගේ තිබූ අඩුලුහුඬුකම් පෙන්වමින් ජනතාවට සේවය කිරීමයි. කාටූන් ශිල්පියා මහජනයාගේ පැත්තෙන් බැලිය යුතුය.”
එමෙන්ම 80 දශකය දෙස බැලීමේදී පෙනීයන කරුණ වන්නේ තලංගම ජයසිංහ, ඇම්.ඩී. වීරරත්න, දාස හපුවලාන, විනී හෙට්ටිගොඩ වැන්නවුන්ගේ කාටූන් පිළිබඳව සඳහන් කළ යුතුය. විනී හෙට්ටිගොඩගේ කාටූන් පින්සලට වැඩි වශයෙන් ගොදුරුවූයේ රණසිංහ ප්‍රේමදාස, මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ වැන්නවුන්ය. ඒ.කේ. කරුණාදාස, කැමිලස් යන අය වඩාත් ජනප්‍රියව සිටියේ හාස්‍යය දනවන කාටූන් ඇඳි ශිල්පීන් ලෙසිනි. මේ බොහෝ ශිල්පීන් වක්‍රව හෝ දේශපාලනය මුල් කරගනිමින් කාටූන් නිර්මාණය කළද සෘජුවම දේශපාලකයන්ගේ මුහුණුවරට සමාන චරිත නිර්මාණය කරමින් දේශපාලන කාටූන් නිර්මාණය කළේ කිහිපදෙනෙකි.