Home » මහේස්ත්‍රාත් නිල මැදිරියේ  වෙඩි පත්තු වීම ගැන විමර්ශනයක් කැඳවයි

මහේස්ත්‍රාත් නිල මැදිරියේ  වෙඩි පත්තු වීම ගැන විමර්ශනයක් කැඳවයි

by mahesh
September 6, 2024 1:00 am 0 comment

අනුරාධපුර - උපාලි ආනන්ද, අනුරාධපුර - බී.ජී. චතුරංග

අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් නිල මැදිරිය තුළ ගිනි අවියක් ක්‍රියාත්මක වීමේ (පත්තුවීමේ) සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කර, එකී විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට නොපමාව දැනුම් දෙන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර මහතාට නියෝග කළේය.

මෙසේ නියෝග කළේ අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් නිල මැදිරිය තුළ පෙරේදා පස්වරුවේ (04) ගිනි අවියක් ක්‍රියාත්මක වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශය බී වාර්තාවක් මඟින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සලකා බලමිනි.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් පොලිසිය පැවසුවේ, අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් නිල මැදිරිය තුළ ගිනි අවියක් ක්‍රියාත්මක වීමේ (පත්තුවීමේ) සිද්ධිය සම්බන්ධයෙන් උතුරු මැද දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක විශේෂ විමර්ශන අංශය මඟින් සහ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය මඟින් මේ වන විටත් වෙන් වෙන් වශයෙන් විමර්ශන දෙකක් අරඹා ඇති බවයි.

අංශ කීපයක් ඔස්සේ එම විමර්ශන සිදු කරන බවද අධිකරණයට අවරධාරණය කළ පොලිසිය, අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවකට අදාළ නඩු භාණ්ඩයක් ලෙස නම් කර අධිකරණයට භාරදුන් ගිනි අවියක්, මහේස්ත්‍රාත් නිල මැදිරිය තුළ ක්‍රියාත්මක (පත්තුවීම) වූයේ කෙසේ ද යන්න අනාවරණය කර ගැනීමට එම විමර්ශන කණ්ඩායම් අපේක්ෂා කරන බව ද සඳහන් කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවල ප්‍රගතිය කඩිනමින් අධිකරණයට දැනුම් දෙන බව ද පොලිසිය දැන්වීය. පොලිසියේ මෙම කරුණු දැක්වීම්වලින් අනතුරුව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් ඇමතූ, අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා ඔවුන්ගෙන් විමසා සිටියේ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ, මහේස්ත්‍රාත් නිල මැදිරිය තුළ ගිනි අවියක් පත්තුවීමේ සිද්ධියට සම්බන්ධව සැකකරුවන් සිටී ද යන්නයි.

ඊට ප්‍රතිචාර දක්වමින් පොලිසිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හට දැනුම් දුන්නේ මෙම සිද්ධිය තවමත් විමර්ශන අවධියේ පවතින බැවින් කිසිදු සැකකරුවකු සම්බන්ධයෙන් මෙතෙක් කරුණු අනාවරණය වී නැති බවයි. සැකකරුවන් සිටී නම් ඉදිරියේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද පොලිසිය අධිකරණයට පවසා සිටියේය.

පෙරේදා (04) අධිකරණයේ මෙම ගිනි අවිය ක්‍රියාත්මක වී ඇත්තේ එම ගිනි අවිය රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට අතිරේක මහේස්ත්‍රාත්වරියගේ අත්සන යෙදීමෙන් අනතුරුව අධිකරණ සේවිකාවන් දෙදෙනකු විසින් ඊට මුද්‍රා තබා ඒ අසල බිත්තියකට හේත්තු කර තබන අවස්ථාවේදීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT