Home » ජනප්‍රිය පාසල් 4ක විදුහල්පතීන්ට එරෙහි පෙත්සමට සංශෝධන
රාජකීය-මහානාම-කුලියාපිටිය මධ්‍ය-වේල්ස් කුමර

ජනප්‍රිය පාසල් 4ක විදුහල්පතීන්ට එරෙහි පෙත්සමට සංශෝධන

by mahesh
September 6, 2024 1:00 am 0 comment

නෙල්කා මැදගෙදර

මෙරට ජනප්‍රිය පාසල් හතරක නව විදුහල්පතිවරුන් එම ධුරයන්හි කටයුතු කිරීම අත්හිටවන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (05) අවසර ලබා දුන්නේය.

එම පෙත්සම ගොනු කර ඇති ලංකා ගුරු සංගමය සහ එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා වෙනුවෙන් පෙනීසිටි නීතිඥ තිෂ්‍ය වෙරගොඩ මහතා විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම අවසරය දෙන ලදි.

ඒ.එච්.එම්.ඩී. නවාස්, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි.

අත්‍යවශ්‍ය කරුණු කිහිපයක් ඇතුළත් කිරීමට අවශ්‍ය බැවින් පෙත්සම සංශෝධනය කිරීමට අවසර ලබා දෙන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට අවසර දුන් විනිසුරු මඬුල්ල පෙත්සම වෙනත් දිනයක කැඳවීමට නියම කළේය. ලංකා ගුරු සංගමය සහ එහි මහලේකම් ජොසප් ස්ටාලින් මහතා මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත. අධ්‍යාපන ඇමැතිවරයා, රාජ්‍ය සේවා කොමිසම, අදාළ විදුහල්පතිවරුන් ඇතුළු පිරිසක් පෙත්සමෙහි වගඋත්තරකරුවෝ ලෙස නම් කරනු ලැබ සිටිති.

කොළඹ රාජකීය විද්‍යාලය, කොළඹ මහානාම විද්‍යාලය, කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය යන විදුහල්වලට විදුහල්පතිවරුන් පත් කිරීමේදී ආක්‍රමිකතාවන් සිදුවී ඇති බවට පෙත්සම මඟින් පැමිණිලි කර තිබිණි. අදාළ පත්වීම් නිවැරදි නොවන බැවින් එම පත්වීම් බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස මෙම පෙත්සම මඟින් ඉල්ලා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT