Home » බීමතින් නි‍ෙවසකට රිංගූ කොස්තාපල්වරයකු අල්ලා ගස් බැඳ වැඩ කළ පොලිසියටම භාරදීලා

බීමතින් නි‍ෙවසකට රිංගූ කොස්තාපල්වරයකු අල්ලා ගස් බැඳ වැඩ කළ පොලිසියටම භාරදීලා

by mahesh
September 6, 2024 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

මැල්සිරිපුර නි‍‍ෙවසකට හොර රහසේ ඇතුළු වී සිටියදී නිවෙස් හිමියා විසින් අල්ලා ගස් බැඳ පොලිසියට භාරදුන් පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කිරීමට කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඊයේ (05) පියවර ගෙන තිබේ.

මෙසේ ගස් බැඳ පොලිසියට භාරදී ඇත්තේ කුරුණෑගල මදුරාගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකි.

පොලිස් නිලධාරියා එම අවස්ථාවේදී බීමත්ව සිට ඇති අතර ඔහුව ගස් බැඳ භාරදී ඇත්තේද මදුරාගොඩ පොලිස් ස්ථානයටමය. මෙම සිදුවීම වී ඇත්තේ පෙරේදා (04) අලුයම් කාලයේදීය.

රාත්‍රී ජංගම මුර සංචාරක රාජකාරියේ යොදවා සිටි මෙම නිලධාරියා මිතුරෙකු සමඟ මත්පැන් පානය කිරීමෙන් අනතුරුව මිතුරා ඇරැලවීමට සිවිල් ඇඳුමින් සැරසී යතුරුපැදියකින් ගොස් නැවත පැමිණෙන අතරතුර මැල්සිරිපුර කූරටිය ප්‍රදේශයේ නිවසකට රිංගා ඇති බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

නිවෙස් හිමියා මෙම පොලිස් නිලධාරියා සොරකු යැයි සිතා ඔහුව ගස් බැඳ සොරොකු අල්ලාගත්තේ යැයි පොලීසියට දුරකතන ඇමතුමක් ඇත. ඒ අනුව මදුරාගොඩ පොලීසියේ නිලධාරීන් එහි පැමිණ ඇත‍. ගස් බැඳ සිටින්නේ එදින රාත්‍රී රාජකාරියේ යොදවා සිටි පොලිස් නිලධාරියකු බව අනාවරණය වී ඇත්තේ එහිදීය.

රාජකාරියේ යොදවා සිටියදී රාජකාරි ඉටුනොකර බීමතින් නිවසකට හොර රහසේ ඇතුළුවීම සම්බන්ධයෙන් මෙම නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් බව කුරුණෑගල පොලිස් අධිකාරී කාර්යාලය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT