සීදුව පොලිස් වසමේ නේවාසිකාගාරයක් තුළ කාන්තාවක් ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.
පොලිසියට ලද තොරතුරක් මත කටුනායක බේස්ලයින් පාරේ, අමන්දොලුව, අංක 05 මරීනා මාවතේ පිහිටි නේවාසිකාගාරයක් තුළ ඇඳක් මත තිබී පෙරේදා (04) සවස ඝාතනයට ලක් වූ කාන්තාවගේ මළ සිරුර සීදූව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට හමුව තිබේ.
කටුනායක වෙළෙඳ කලාපයේ මෑන්පවර් ආයතනයකට සම්බන්ධව සේවය කර ඇති ඝාතනයට ලක් වූ කාන්තාව අංක 128 /5 ඒ පලතුරු වත්ත, සෙනරත්කඩ පදිංචි 43 හැවිරිදි එච්. එම්. ශිරෝමි පුෂ්පලතා නමැති එක් දරු මවක් බව පොලිසිය විසින් අනාවරණය කර ගෙන තිබේ. මියගිය කාන්තාවගේ දරුවා ඇයගේ ඥාතින්ගේ සමීපයේ හැදී වැඩෙන අතර මියගිය අය සිය සැමියා යැයි පැවසෙන කටුනායක පෞද්ගලික ආයතනයක රියැදුරකු සමඟ වසර 09ක පමණ කාලයක් නේවාසිකාගාරයේ ඉතා සාමකාමීව ජීවිතයක් ගතකර ඇතැයි අසල්වැසියන් අනාවරණය කළ බව පොලිසිය සඳහන් කරයි.
කාන්තාව මියගිය පසු ඇයගේ සැමියා යැයි පැවසෙන පුද්ගලයා ප්‍රදේශය අත්හැර ගොස් තිබෙන බව පොලිසිය සඳහන් කරයි. මියගිය කාන්තාව සිටි නේවාසිකාගාරයේ තිබී ලේ තැවරුණු මන්නා පිහියක් ද පොලිසියට හමුවී තිබේ. සිද්ධිය සිදුවූ ස්ථානය වෙත පැමිණි මීගමුව වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා මහතා විසින් ස්ථානීය විමර්ශනයකින් අනතුරුව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මීගමුව අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකරන ලෙස පොලිසියට උපදෙස් දෙනු ලැබීය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සීදූව පොලිසියේ නිලධාරීන් සිදු කරනු ලබයි.