නිමි ඇඳුම් ගනුදෙනු සඳහා කෝටි 244කට අධික මුදලක් සඳහා අගරු චෙක්පත් දීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයකු වූ බ්‍රයන් තෝමස් මහතාට එරෙහි නඩු හතක් පවත්වාගෙන යන්නේ ද නැද්ද යන තීන්දුව ලබන මස 2 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (05) නියම කළේය.
මියගිය ව්‍යාපාරිකයකු වූ නො.39, මල් පාර, කොළඹ 7 පදිංචිව සිටි දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ පැමිණිලි අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් මෙම නඩු අධිකරණය හමුවේ පැවරීය.
අගරු චෙක්පත් විස්සක් සම්බන්ධයෙන් නඩු හතක චෝදනා අධිකරණය හමුවේ ගොනු කළ අතර සැකකාර බ්‍රයන් තෝමස් මහතා අදාළ නඩු සඳහා නිවැරදිකරු බවට අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
2017 වර්ෂයේ සිදුවූ ගනුදෙනුවලට අදාළව මෙම නඩු අධිකරණය හමුවේ පැවරිණි. පෞද්ගලික නිමි ඇඳුම්හලකින් ආනයනය කිරීම සඳහා නිමි ඇඳුම් ලබාගෙන අවස්ථා 20කදී මෙම චෙක්පත් සැකකරු විසින් දී ඇත.
සැකකරුට එරෙහිව ණය ආපසු අය කර ගැනීමේ පනත යටතේ චෝදනා දහයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ගොනු කර ඇත.
අදාළ චෝදනාවන්ට සැකකරු විසින් අධිකරණය හමුවේ නිවැරදිකරු බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නඩු සියල්ල විභාගය සඳහා දින නියම කළ ද මෙම නඩුවලට අදාළව මහාධිකරණයේ නඩු පවරා ඇති බවට විත්තියේ නීතිඥවරයා ගොනු කරන ලද මූලික විරෝධතා අනුව ඔහුට එරෙහිව මෙම නඩු පවත්වාගෙන යන්නේ ද නැද්ද යන තීන්දුව ලබාදීම මහේස්ත්‍රාත්වරයා මෙලෙස කල් තැබීය.