ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් වන සභිකයන්ගේ නාමයෝජනා ලබන 12 වැනි දින දහවල් 12.00ට පෙර ඉදිරිපත් කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා විසින් දැනුම්දී ඇති අතර ඒ සඳහා ඉදිරිපත් කරන සභිකයන්ගේ නාමලේඛන මේ දිනවල එම පක්ෂ ලේකම්වරුන් විසින් සූදානම් කරන බව වාර්තාවේ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ පාලන බලය ලබා සිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු කණ්ඩායම විසිනි. එහෙත් 2024 වර්ෂය සඳහා ඉදිරිපත් කරන ලද අය -වැය කිහිපවරක්ම පරාජයට පත්වීම නිසා හිටපු සභාපතිවරයාට සහ පසුව පත්කළ සභාපතිවරයාට ද ඉවත්වීමට සිදුවූ අතර ඉන්පසු එය කොමසාරිස් පාලනයට යොමු කරනු ලැබීය.
ඒ අනුව දිවයිනේ අනෙක් පළාත් පාලන ආයතන මෙන්ම ඇල්පිටිය ප්‍රාදේශීය සභාව ද කොමසාරිස්වරයා යටතේ පාලනය කෙරේ.
මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු සභාපතිවරයකු හා මන්ත්‍රීවරුන් හතර දෙනකු ඇතුළු නවක කණ්ඩායමක් ඉදිරිපත් වීමට නියමිත බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.
මෙවර පළමු වතාවට සමගි ජන බලවේගයෙන් කණ්ඩායමක් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට තරග වැදීමට නියමිත අතර එම කණ්ඩායමට හිටපු සභාපතිවරයකු හා හිටපු උප සභාපතිවරුන් තිදෙනකු ඇතුළත්ව ඇති බව එම පක්ෂ ආරංචිමාර්ග පවසයි. ඉන් තිදෙනකුම කලින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කර පසුව සමගි ජන බලවේගයට එක්වූ අය බව ද දැනගන්නට තිබේ.
එක්සත් ජාතික පක්ෂයෙන් හිටපු මන්ත්‍රීවරු තිදෙනකු ඇතුළු නවක කණ්ඩායමක් ඉදිරිපත් වන බව ද එම ආරංචි මාර්ග පවසයි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු සභාපති කරුණාසේන පොන්නම්පෙරුම මහතා මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වීමට මෙතෙක් තීරණයක් ගෙන නැති බව පැවසීය.