ලොව ඉහළම ආදායමක් උපයන පාපන්දු ක්‍රීඩකයා පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ය. ඊළඟට ආජෙන්ටිනාවේ ලයනල් මෙසී ය. බ්‍රසීලයේ නේමාර්, ප්‍රංශයේ එම්බාපේ සහ කරිම් බෙන්සිමා ඒ පසුපසිනි. ලොව සුපිරි තරු බවට පත් වූ පාපන්දු ක්‍රීඩකයන් අතරට එක්වීමට ආසියාතික ක්‍රීඩකයන් අසමත්වූවද ඊයේ පෙරේදා ඉන්දියාවේ පාපන්දු ක්‍රීඩකයකු ජාත්‍යන්තර අවධානය දිනා ගැනීමට සමත් විය.
ඔහු 24 හැවිරිදි අන්වර් අලී ය. හෙතෙම දරිද්‍රතාව අතින් අන්තිම පහළ තැනක සිට අද වන විට ඉන්දියාවේ ඉහළම ආදායමක් උපයන පාපන්දු තරුව බවට පත්වී සිටී. පසුගියදා නැඟෙනහිර බෙංගාලයේ පාපන්දු සමාජය සමඟ වසර 5කට ගිවිසුම්ගත වූ අන්වර්ට ඉන් ලැබෙන මුදල ඉන්දීය රුපියල් කෝටි 24කි. ඔහුගේ වාර්ෂික ආදායම රුපියල් කෝටි 4.8කි. ඒ අනුව තවත් වසර 5කින් ඔහු ඉන්දියාවේ ප්‍රකෝටිපතියන්ගේ ලැයිස්තුවට එක්වනු ඇත.
සුපිරි තරුවක් බවට පත්වුවද අන්වර්ගේ ජීවිත කතාව හැම අතින්ම දුක්බරය. විශ්මයජනකය. ඔහුගේ පියා සවුදි අරාබියේ කම්කරුවකු ලෙස රැකියාවේ නිරතව සිටින අතර, මව ගොවිපොළක අත්උදව්කාරියකි. අනිත් අතට ඔහු උපතින්ම හෘද රෝගියෙකි. ඔහුට වැලඳී ඇත්තේ හෘදයේ මාංශපේශී ඝන වීමේ දුර්ලභ රෝගී තත්ත්වයකි. එය ව්‍යායාම ගැනීම හා හුස්ම ගැනීම පවා අපහසු කරවනසුලු රෝගී තත්ත්වයකි. ඔහු ක්‍රීඩාවට එක් වූයේ ජීවිත අවදානම අතට ගනිමිනි. මේ තත්ත්වය මත සමස්ත ඉන්දීය පාපන්දු සම්මේලනය ඔහු ක්‍රීඩාවෙන් ඉවත් කළ විට ඔහු ක්‍රීඩා කිරීමට ඇති අයිතිය උදෙසා අධිකරණයේ පිහිට පැතුවේය.
නවදිල්ලි නුවර මහාධිකරණයේදී විභාගයට ගත් ඉන්දීය පාපන්දු සම්මේලනයට එරෙහි නඩුවෙන් ඔහු ජයගත්තේය. පාපන්දු සම්මේලනයට එරෙහි නඩුවෙන් ජයගැනීමත් සමඟ ඉන්දියාවේ වැඩි අවධානයට ලක්වූ අන්වර් අලීට නැඟෙනහිර බෙංගාල පාපන්දු සමාජයේ දොරටු විවර වූයේ දහසින් බැඳි පියලි ද සමඟය. මේ වසරේ සිට 2029 වසර දක්වා ඔහු බෙංගාල පාපන්දු සමාජයේ පමණක් නොව සමස්ත ඉන්දියාවේම නොම්මර එකේ ක්‍රීඩකයා බවට පත්වනු ඇත.
ෆවුස් මොහොමඩ්