1971 කැරැල්ලෙන් පසුව බන්ධනාගාරගතව සිටි ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ප්‍රමුඛ නායකයෝ 1977 බලයට පත් ජේ.ආර්. ජයවර්ධන රජය විසින් අපරාධ යුක්ති කොමිසම අහෝසි කිරීම නිසා නිදහස ලැබූහ. ඉන් අනතුරුව යළි දේශපාලනයට පිවිසි එම පක්ෂයෙන් 1982 පැවැති ජනපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස රෝහණ විජේවීර පළමුවරට තරග වැදුණේය.
ඉන් අනතුරුව 87 – 89 භීෂණ සමයේ නිමාවත් සමඟ යළි දේශපාලනයට පිවිසෙන ජනතා විමුක්ති පෙරමුණ 1994 ජනාධිපතිවරණයට තරග කරන්නේය. එවර තරග කළ ජවිපෙ අපේක්ෂකයා වනුයේ නිහාල් ගලප්පත්තිය. ආරිය බුලේගොඩගේ මල් බඳුනෙන් තරග කර පාර්ලිමේන්තුවට තෙරී සිටි ඔහු ජනාධිපතිවරණයේදී බරපතළ පරාජයකට මුහුණ දුන්නේය. එවර ජනපතිවරණයට මුහුණ දෙන ඔහු චන්ද්‍රිකා කුමාරණතුංග සහ ශ්‍රීමා දිසානායක යන දෙදෙනාට පමණක් නොව, හඩ්සන් සමරසිංහ, ඒ.ජේ. රණසිංහ, හරිස්චන්ද්‍ර විජේතුංග වැනි දේශපාලනඥයන්ටද පරාජය වන්නේය. එම ජනපතිවරණයේදී ඔහු ලබනුයේ ඡන්ද ප්‍රමාණය 22,749කි. එය ප්‍රතිශතයක් ලෙස 0.30%කි.
ජනතා විමුක්ති පෙරමුණෙන් දේශපාලනයට පිවිසි නන්දන ගුණතිලක, පාණදුර නගරය කේන්ද්‍ර කරගෙන සිය දේශපාලන ගමන තෝරාගත්තේය. ඔහු ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් වසර දහයකට ආසන්න කාලයක් මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළේය. එමෙන්ම නන්දන ගුණතිලක පාර්ලිමේන්තුවට පිවිසීමට පෙර රටේ දේශපාලන චරිතයක් බවට පත්වන්නේ, 1999 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමෙනි.
1999 පවත්වන ලද ජනාධිපතිවරණයේ දී එවර ජනපතිවරණ අපේක්ෂකයා ලෙස ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන්නේ නන්දන ගුණතිලකය. ඒ වන විට නන්දන ගුණතිලක දේශපාලන පිටියේ එතරම් ප්‍රසිද්ධියක් නොතිබුණත් පාක්ෂිකයන් අතර හොඳ හිත වර්ධනය කර ගනිමින් සිටියේය. එහෙත් එම අවස්ථාව වන විටත් ජනතා විමුක්ති පෙරමුණ තුළ එක්තරා ආකාරයක අභ්‍යන්තර ගැටුමක් වර්ධනය වෙමින් තිබිණි. ඒ සන්නද්ධ විප්ලවයකින් තොරව බලය ලබාගැනීමට නොහැකි බවට එම පක්ෂයේ කොටසක් තුළ වර්ධනය වෙමින් පැවැති හැඟීමය. එය නන්දන ගුණතිලකගේ ජනපතිවරණ සටනට යම් මට්ටමක බලපෑමක් ගෙන ආවද ඔහු සෙසු පාක්ෂිකයන්ගේ සහායෙන් ජනාධිපතිවරණයට මුහුණ දුන්නේය. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති ධුරයටද රනිල් වික්‍රමසිංහ දෙවැනි තැනටද පත්වූ එම ජනපතිවරණයේ තුන්වැනියා වූයේ නන්දන ගුණතිලකය. එදා ඔහු ලබා ගත් ඡන්ද ප්‍රමාණය 3,44,173කි. එදා නන්දන ගුණතිලක ලද ඡන්ද ප්‍රමාණය 1982 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ලද ඡන්ද ප්‍රමාණය වන 2,73,428 ඉක්මවා යෑමක් බව සඳහන් කළ යුතුය. එමෙන්ම 1999 ජනාධිපතිවරණයේ දී නන්දන ගුණතිලක ලද ඡන්ද ප්‍රතිශතය 4.08%කි.
චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ රනිල් වික්‍රමසිංහට පමණක් දෙවැනියා වෙමින් 1999 ජනපතිවරණය නිම කරන නන්දන ගුණතිලක 2000 මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ කළුතර දිස්‌ත්‍රික්‌කයෙන් ඡන්ද 5,628ක් ලබාගනිමිනි. එවර ජනතා විමුක්ති පෙරමුණ ජාතික ලයිස්තුවද සහිතව ආසන 10ක් දිනා ගනියි. 2000 පාර්ලිමේන්තුව 2001 විසුරුවා හැරීම නිසා ඔහුගේ පළමු පාර්ලිමේන්තු පත්වීම වලංගු වූයේ වසරකට මඳක් වැඩි කලකට පමණි.
යළිත් 2001 මැතිවරණයට මුහුණ දෙන නන්දන ගුණතිලක ඉන් ඡන්ද 8,312ක් ලබා නැවත පාර්ලිමේන්තුවට පිවිසෙන්නේය. ඉන් අනතුරුව එළැඹෙන 2005 මහ මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් වනුයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ සන්ධානගතවය. එවර ද කළුතරින් තරග කරන නන්දන ගුණතිලක ඡන්ද 1,35,745ක් ලබා පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේය. සන්ධාන රජයේ දී ඔහු සංචාරක අමාත්‍යවරයා ලෙසත් තැපැල් අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළේය. එහෙත් මෙම අවස්ථාව වන විට ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර ගැටුම් කරළියට පැමිණෙමින් තිබිණි.
ජ.වි.පෙ.ට පාර්ලිමේන්තු ක්‍රමයෙන් බලය ලබාගත නොහැකි බව විශ්වාස කළ පිරිසක් පක්ෂය තුළ සිටියහ. සන්නද්ධ අරගලයකින් තොරව බලය ලබාගත නොහැකි බව ඔවුහු විශ්වාස කළෝය. එළියට ආවේ එම ගැටලුව වුවද, තවත් අභ්‍යන්තර ගැටුම් රාශියක් පක්ෂය තුළ ක්‍රියාත්මක විය.
ජනතා විමුක්ති පෙරමුණ දෙකඩ විය. නන්දන ගුණතිලක කෙටි කලක් විමල්ගේ ජාතික නිදහස් පෙරමුණේ සිට පසුව ශ්‍රීලනිපයට එක් විය. 2015 ජනාධිපතිවරණය ආසන්නයේදී මහින්ද රාජපක්ෂව පරාජය කළ යුතු යැයි ද ඒ සඳහා විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහාය දිය යුතු බව කියමින් ආණ්ඩුවෙන් ඉවත් වූ මුල්ම ශ්‍රිලනිප පාක්ෂිකයා වූයේද නන්දන ගුණතිලක ය.
ඔහු ඒ වකවානුවේදී පළමු පෙරමුණ නම් සංවිධානයකට නායකත්වය දෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දැක්වීය. ශ්‍රීලනිපයෙන් ද ඉවත් වන නන්දන ගුණතිලකගේ ඊළඟ නවාතැන වූයේ එක්සත් ජාතික පක්ෂයයි. එම පක්ෂය නියෝජනය කරමින් පාණදුර මහනගර සභාවේ නගරාධිපති ධුරයට ද ඔහු තේරී පත් විය.