Home » විනාශකාරී කණ්ඩායමකට බලය යෑම වැළැක්වීමට එක්වෙමු

විනාශකාරී කණ්ඩායමකට බලය යෑම වැළැක්වීමට එක්වෙමු

-මන්ත්‍රී අරුන්දික ස්වාධීන වෙයි

by sachintha
September 5, 2024 3:13 am 0 comment

විනාශකාරී කණ්ඩායමකට බලය ලබා ගැනීම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා හා විපක්ෂ නායකවරයා වහා එක් විය යුතු යැයි දෙඅත් එක්කොට වැඳ ඉල්ලා සිටින බව පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික

ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී ඊයේ (04) ප්‍රකාශ කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී කණ්ඩායමකට බලය ලබා දෙනවා වෙනුවට එම විනාශකාරීන්ගෙන් රට බේරා ගැනීමට හැකි කණ්ඩායම් සමඟ සාකච්ඡා කරන බවත් ඒ සඳහා තමන් මින් ඉදිරියට ස්වාධීන මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරන බවත් අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේ මින් ඉදිරියට තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන බව දැනුම් දෙමින් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

පවතින තත්ත්වය තේරුම් කර ගනිමින් ජනාධිපති සටනේ ඉදිරියෙන් සිටින රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා වහා එක් විය යුතු බව ද හෙතෙම පැවසීය.

මෙවර ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමට සද්භාවයෙන් ක්‍රියා කළ ද එක්සත් ජාතික පක්ෂයෙන් කිසිදු සහයෝගයක් නොලැබෙන බවත් ජනාධිපතිවරයා වටා වෙනත් අශුද්ධ සන්ධානයක් ක්‍රියාත්මක වෙමින් වෙනත් කණ්ඩායමක් බලයට ඒමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බවත් ඒ මහතා පැවසීය.

එබැවින් ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන නායකයන් සිටී නම් මෙම අවදානම තේරුම්ගත යුතු යැයි ද ඔහු සඳහන් කළේය. මේ වන විට තරුණයන් ඉලක්ක කර ගනිමින් ඔවුන්ගේ මනස විනාශ කෙරෙන දැවැන්ත අරගලකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව ද ඒ මහතා කීය.

ඒ මහතා මෙසේ ද පැවසීය.

රට විනාශ කළ කණ්ඩායමක් ජනතාවගේ ඔළුව හෝදලා අවුරුදු හැත්තෑහයක්. කිසිම දෙයක් රටට කරලා නැහැ කියලා බොරු වපුරලා අද ඒ බොරුව සම්මත කරලා අති විනාශකට රට පත් කරමින් තිබෙනවා. එදා සිට අද දක්වා දේශපාලකයන් විශාල කැප කිරීමක් කර තිබෙන බව මම කිව යුතුයි.

වෛරී දේශපාලනයට, ගෙවල් ගිනි තියන දේශපාලනයට, පාර්ලිමේන්තුව ගිනි තියන දේශපාලනයට යළිත් ඉඩ දෙන්න එපා. රට යළිත් ගිනි තියන්න උත්සාහ කරන කණ්ඩායමේ වැඩපිළිවෙළ පරාජය කරන්න කවුරු හරි ඉදිරියෙන්

ඉන්නවා නම් සියලු දෙනා සහාය දිය යුතුයි.

අප පක්ෂ කිහිපයක් එකතු වෙලා කටයුතු කළේ. මෙවර ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමට මම සද්භාවයෙන් ක්‍රියා කළත් එක්සත් ජාතික පක්ෂයෙන් එතුමන්ට කිසිදු සහයෝගයක් ලැබෙන්නෙ නැහැ. මම දන්නේ නැහැ ඇයි එහෙම වෙන්නේ කියලා. ජනපති වටා වෙනත් අශුද්ධ සන්ධානයක් ක්‍රියාත්මක වෙමින් වෙනත් කණ්ඩායමක් බලයට ගෙන ඒමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට තිබෙනවා. මේ අවදානම තේරුම්ගෙන දැන්වත් අවබබෝධයෙන් කටයුතු කළ යුතුයි. රජයේ නිලධාරීන් ලක්ෂ දාහතරේම ඔළුව සෝදා හැරලා. තරුණයන් ඉලක්ක කර ගනිමින් ඔවුන්ගෙ මනස විනාශ කරන තැනකට මේක ගෙන යනවා. අද සිට මම ස්වාධීනයි. විනාශකාරී කණ්ඩායම පරාජය කරන්න පුළුවන් කණ්ඩායම සමඟ මම සාකච්ඡා කරනවා.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT