තලාව-කැකිරාව ප්‍රධාන මාර්ගයේ කටියාව හන්දිය ආසන්නයේදී පොලිස් සැරයන්වරයෙක් ධාවනය කළ වෑන් රථයක් යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරකින් යතුරු පැදියේ ගමන් කළ කාන්තාවන් දෙදෙනෙක් මියගොස් අවුරුදු තුනහමාරක් වයසැති පිරිමි දරුවකු තුවාල ලබා ඇතැයි එප්පාවල පොලිසිය සඳහන් කරයි.
මෙම අනතුර ඊයේ (04) දහවල් කාලයේ දී සිදුව ඇති බවත් මියගොස් ඇත්තේ ගල්ගමුව පදිංචි අවුරුදු 58 හා 38 යන වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙක් බවත් පොලිසිය කියයි.
වෑන් රථයේ රියැදුරුට නින්ද ගොස් වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දෙසින් ගමන් කරමින් තිබුණු යතුරුපැදියේ ගැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
වෑන් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු අනුරාධපුර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් සැරයන්වරයෙකි.
තුවාල ලැබූ දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා එප්පාවල රෝහලින් අනුරාධපුර රෝහලට මාරු කර යවා ඇත.
ගයාන් කුමාර/ උපාලි කරුණාරත්න සහ තඹුත්තේගම විශේෂ – ඩබ්ලිව්. ප්‍රදීප්