Home » චීන-අප්‍රිකානු සබඳතාව ජාත්‍යන්තර සබඳතා සඳහා නවීන ආදර්ශයක් බව චීන ජනපති පවසයි

චීන-අප්‍රිකානු සබඳතාව ජාත්‍යන්තර සබඳතා සඳහා නවීන ආදර්ශයක් බව චීන ජනපති පවසයි

by chanaka
September 5, 2024 3:09 pm 0 comment

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන අප්‍රිකා සහයෝගිතා සංසදයේ බෙයිජිං සමුළුවේ සමාරම්භක උළෙලට එක්වෙයි. එම උළෙල අද (5) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේ දී පැවැත්විණ.

‘එක්සත් ව නවීකරණය ඉදිරියට ගෙන යමින් පොදු ඉරණමක් සහිත ප්‍රජාව ගොඩනැගීම’යන මැයෙන් චීන ජනාධිපතිවරයා එහිදී ප්‍රධාන දේශනය පැවැත්වීය.

2000 වසරේ දී ස්ථාපිත චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදය ගෙවුණු වසර 24 තුළ එකිනෙකාගේ නීත්‍යනුකූල අයිතිවාසිකම් ස්ථාවර ලෙස ආරක්ෂා කරමින් සිටින බව ඔහු පෙන්වා දුන්නේය. දැවැන්ත ව්‍යසන සහ වසංගත හමුවේ පවා දෙපාර්ශ්වය එක්ව රැඳීසිටි අතර, ජාත්‍යන්තර සබඳතා සඳහා නවීන ආකාරයේ ආදර්ශයක් බිහිකර ඇති බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

චීනය හා අප්‍රිකාව අංග 6 කින් සමන්විත නවීකරණය එක්සත් ව ප්‍රවර්ධනය කළ යුතු බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය. සාධාරණ මෙන්ම යුක්තිසහගතබව, විවෘතභාවය හා පොදු ජයග්‍රහණ සහිත වීම, ජනතා කේන්ද්‍රීයභාවය, විවිධත්වය මෙන් වෙනස්කම් පිළිගැනීම, ජෛව පාරිසරික හිතකරභාවය සහ සාමය හා සුරක්ෂිතතාව එම නවීකරණයේ ප්‍රධාන අංග වේ.

නවීකරණ ශිෂ්ටාචාර පිළිබඳ අන්‍යෝන්‍ය අධ්‍යයන, සමෘද්ධිමත් වෙළඳාම, කර්මාන්ත දාම සහයෝගිතාව, අන්‍යෝන්‍ය සබඳතා හා සන්නිවේදන කටයුතු ඇතුළු ක්ෂේත්‍ර 10 ක් හවුල්කාරී මෙහෙයුම් ලෙස ක්‍රියාවට නැංවිය යුතු බව ද චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. සංවර්ධන සහයෝගිතාව, සෞඛ්‍ය සේවාව, කෘෂිකර්මාන්තයේ වර්ධනය, ජනතා සුබසෙත සැලසීම, උසස් තත්ත්වයේ මානව හුවමාරු, හරිත සංවර්ධනය සහ ඒකාබද්ධ ආරක්ෂාව තහවුරු කිරීම මීට ඇතුළත් සෙසු ක්ෂේත්‍ර වේ.
නවීකරණ සංවර්ධන අවස්ථාව කිසිදු රටකට අහිමි නොවිය යුතුය. නවීකරණ ගමනේ දී බිලියන 2.8 ක චීන-අප්‍රිකානු ජනතා බලය එක්රැස් කර ගෝලීය දකුණු කලාපයේ නවීකරණය ප්‍රවර්ධනය කරමින් සාමය, ආරක්ෂාව, සමෘද්ධිය හා සංවර්ධනය සහිත සුන්දර අනාගතයක් කරා ලෝකය මෙහෙයවිය යුතු බව ද චීන ජනාධිපතිවරයා අවධාරණය කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT