Home » ජාතික න්‍යාය පත්‍රයේ පළමු වගකීම ආර්ථික පුනරුදයයි

ජාතික න්‍යාය පත්‍රයේ පළමු වගකීම ආර්ථික පුනරුදයයි

-මහාචාර්ය ධම්මික හේරත්

by sachintha
September 5, 2024 3:02 am 0 comment

ස්ථාවර දේශපාලන ප්‍රතිපත්ති මාලාවක් තිබිය යුතුයි රටක් ඉදිරියට යාමට නම් අපි හැම විටම නව්‍යකරණයට යා යුතුයි කාන්තාවන් ද රටේ දේශපාලන ක්‍රියාවලියට බද්ධ කර ගත යුතුයි

ශ්‍රී ලංකාවේ දේශපාලන සිහසුන හෙබවීමට තව නොබෝ දිනකින් අභිනව ජන නායකයෙක් පත්වීමට නියමිතය. දේශපාලන වේදිකාවල වඩාත් තරගකාරීව එකිනෙකට පරයන ප්‍රතිපත්ති පොරොන්දු ඉදිරිපත් කළ ද ජනතා සිතුම් පැතුම් අවබෝධ කර ගෙන ඊට සමපාත වන රාජ්‍ය පාලනයක් මේ මොහොතේ ජනතාව ඉඳුරාම අපේක්ෂා කරයි. අතීතයෙන් උගත හැකි පාඩම් ද අත්නොහැර රට නිවැරැදි දිශානතියකට යොමු කිරීම අභිනව ජනනායකයාගේ කාර්ය විය යුතුයි. මේ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ධම්මික හේරත් මහතා කළ සංවාදයකි.

ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතියේ හැඩගැස්ම දෙස බලන විට නිදහසින් පසු එය එක්තරා රාමුවකට කොටු වුණු ස්වභාවයක් දක්නට ලැබෙනවා. මේ පිළිබඳව ඔබේ අදහස කුමක් ද?

ශ්‍රී ලංකාවේ නිදහස් සටනින් පසු දේශපාලන ක්ෂේත්‍රයට පිවිසි ක්‍රියාකාරිකයන්ගෙන් වැඩි පිරිසක් මෙරටේ ප්‍රභූ පෙළැන්තිය නියෝජනය කළා. ඔවුන් ජාතික නිදහස් සටනට දැක්වූ දායකත්වය සහ එහිදී ඔවුන් විසින් ගොඩනඟා ගත් සමාජ පිළිගැනීම සහ ගෞරවය සමඟ ඔවුන් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයටත් ඝෘජුව සම්බන්ධ වුණා. එම පවුල්වල මුල් පුරුක්වලින් පසු ඔවුන්ගේම පවුල් පරිසරයෙන් බිහිවූ තවත් පිරිසක් දේශපාලනයට ප්‍රවිෂ්ට වුණා. නමුත් ඔවුන් පාර්ලිමේන්තුවට පිවිසියේ මෙරට ඡන්ද දායකයින්ගේ ඡන්දවලින්. ඒ නිසා ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතියේ ගලා යාම එකම ස්වරූපයක් ගන්නා බවක් පෙන්නුම් කිරීමේ වරදක් නෑ. ඒ වගේම ජනතාව සිය ඡන්දය පාවිච්චි කිරීම හැර රටට බලපාන තීන්දු තිරණ ගැනීමට ඝාජුව සහ උද්‍යෝගිමත්ව සම්බන්ධ වුණේ නෑ කියන එකත් මේ සමඟ මතුවන කාරණයක්. නමුත් මේ තත්ත්වය 1990න් පසු වෙනස් මගකට යොමු වුණා.

1990න් පසු මොකද වුණේ ?

1990න් පසු සමාජය විසින් ප්‍රභූ පෙළැන්තිය නමින් හඳුන්වා දුන් පිරිසෙන් පරිබාහිර වූ ප්‍රාදේශීය මට්ටමේ ජනතා පාලකයින් පිරිසක් දේශපාලන කරළියට ආවා. ඇත්තෙන්ම මෙම තත්ත්වය ඇති වුණත් ශ්‍රී ලංකා දේශපාලන තන්ත්‍රයේ පෙරළියක් සිදු වුණා යැයි කිව නොහැකියි. රටට බලපාන ආර්ථීක, දේශපාලන, අධ්‍යාපන, ජනවාර්ගික ආදි සියලු කාරණා සම්බන්ධයෙන් ප්‍රතිපත්ති තීන්දු තීරණ ගනු ලැබූයේ දේශපාලන තන්ත්‍රයේත් ඉහළම පෙළේ අයයි. එම පිරිස ඉතා සුළු පිරිසක්. ඒ වගේම රටට බලපාන අතිශය වැදගත් ඇතැම් තීන්දු තීරණ ගනු ලැබූයෙත් පාර්ලිමේන්තුවෙන් පිට පුද්ගලානුබද්ධ ස්වරූපයකින්. ජාතික මට්ටමින් ගනු ලැබූ ඇතැම් තින්දු තීරණ ගැන ජනතාවට අවම දැනීමක් හෝ අවබෝධයක් නොතිබූ තැන් ද තිබුණා. එය රටේ දේශපාලනයට ජනතාව නාමිකව සම්බන්ධවීමක් ලෙස විග්‍රහ කිරීමේ වරදක් නෑ.

ඔබ ඉන් අදහස් කරන්නේ රටට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේ දී ජනතා නියෝජනයක් සිදු වුණේ නෑ කියන එකද ?

ඇත්තෙන්ම ඔව්. අපේ රට බහු ආගමික බහු වාර්ගික රටක්. ඒ වගේම විවිධ සමාජ පන්තින් නියෝජනය කරන ජනතාවක් සිටින රටක්. ඔවුන්ගේ සිතුම් පැතුම්, අවශ්‍යතා එකිනෙකට වෙනස්. ජනතා නියෝජිතයින් ලවා ඔවුන්ට සැබෑ කර ගත යුතු බරපතළ අවශ්‍යතා තිබෙනවා. ඔවුන් ඒ වෙනුවෙන් සිය වටිනා ඡන්දය පාවිච්චි කර ජයග්‍රහණය කරවා පාර්ලිමේන්තුවට යවා තිබෙනවා. ඒ ආකාරයෙන් පාර්ලිමේන්තුවට ගිය මහජන නියෝජිතයා පෙරළා තම ජනතාවගේ අභිලාෂයන් හඳුනාගෙන එය යථාර්ථයක් කිරීමට කටයුතු කළ අපි බවක් දැක්කේ නෑ. එම නිසා අද වන විට මහජන නියෝජිතයින් පිළිබඳ ජනතා විශ්වාසය බරපතළ ලෙස පලුදු වී තිබෙන බව නොරහසක්.

නමුත් රටේ ඉතාමත් බරපතළ අභියෝග හමුවේ ඝෘජු නායකත්වය භාරගෙන කටයුතු කළ නායකයින් මෑත ඉතිහාසයේ බිහි වී තිබෙනවා නේද?

ඔව්. ශ්‍රී ලංකාවේ මැත ඉතිහාසයේ රට මුහුණ දුන් බරපතළ අභියෝග දෙකක් වුණේ උතුරු, නැඟෙනහිර යුද්ධය සහ ආර්ථික බංකොලොත් බව. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යුද්ධයට දේශපාලන නායකත්වය ලබා දුන්නා. යුද්ධය ජයග්‍රහණය කළේ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, සොල්දාදුවන්ගේ ජීවිත පරිත්‍යාගය සහ ජනතාවගේ ආශීර්වාදය සහ අතිමහත් කැප කිරීම් මතයි. එය සාමුහික ව්‍යායාමයක්. ඒ වගේම රට ආර්ථික වශයෙන් ගරා වැටී යන එන මං නැති තත්ත්වයක් රටට උද්ගත වන අවස්ථාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට භාර ගත්තා. එතුමාත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත රට මෙහෙයවනු ලැබුවා. ඒ කර්තව්‍යයන් නොසලකා හැර ඉතිහාසය දිග හැරීමට නොහැකියි. නමුත් රටේ දැවෙන ප්‍රශ්න සඳහා තිරසර විසැඳුමක් කිසිම පාලකයෙක් ලබා දුන්නේ නෑ කියන විරසක බව ජනතා සිත් තුළ තිබෙනවා.

ආර්ථික අර්බුදයට ලබා දුන් පිළියම් ගැන සෑහීමට පත් විය නොහැකි බවද ඔබ පවසන්නේ?

ආර්ථික අර්බුදයේ උච්චතම අවස්ථාවේ මෙරට ජනතාවගේ මූලික අවශ්‍යතා ටිකවත් සැපයීමට නොහැකි තැනකයි රට තිබුණේ. එහිදී වියදම් කරන්න මූල්‍යය සංචිතයක් රට තුළ තිබුණේ නෑ. අදටත් නෑ. රජය යම් යම් සහන දුන්නේ විදෙස් රටවල්වලට ගෙවීමට ඇති අමෙරිකානු ඩොලර් 600 – 700ක් පමණ වන මුදල් කන්දරාව තාවකාලිකව ගෙවීම අත්හිටුවා රට තුළ ඉතිරි කර ගත් සල්ලිවලින්. රට තුළ ඩොලර් අතිරික්තයක් තියෙන්නේ ඒ විදිහටයි. මේ නිසා ප්‍රශ්නය තාවකාලිකව යටපත් කිරීමක් තමයි වෙලා තිබෙන්නේ. කෙසේ වෙතත් කවුරු බලයට පත් වුණත් එම ණය අපි ගෙවිය යුතුයි සහ ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒමට වහ වහා කටයුතු කළ යුතුයි.

ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රියාවලිය ගත් විට රටට අවශ්‍ය ස්ථාවර ප්‍රතිපත්ති සම්පාදනයක් මෙතෙක් බිහි වී නැති බවට නිරන්තරයෙන් චෝදනා එල්ල වෙනවා. ඒ පිළිබඳව ඔබේ අදහස කුමක් ද?

ඇත්තෙන්ම එය ඉතා හොඳ ප්‍රශ්නයක්. රටක් ඉදිරියට යන්නේ කලින් කලට වෙනස් වන තීන්දු තීරණවලින් නෙමෙයි. ස්ථාවර දේශපාලන ප්‍රතිපත්ති මාලාවක් තිබිය යුතුයි. අපේ රටේ ප්‍රතිපත්ති සම්පාදනය මොහොතින් මොහොත සිදු වුවත් ඒවා ආණ්ඩුවෙන් ආණ්ඩුවට කාර්තුවෙන් කාර්තුවට වෙනස් වෙනවා. මෙය අපේ රටේ මුල් බැස ගත් පක්ෂ දේශාපලනය නමැති පිළිලයේ එක් තීව්‍ර ප්‍රතිඵලයක්. එය රටට කිසිසේත්ම හිතකර නෑ.

ස්ථාවර ප්‍රතිපත්ති ලෙස ඔබ හුවා දක්වන්නේ මොනවාද ?

ආර්ථික දේශපාලන, ආගමික, අධ්‍යාපන, සෞඛ්‍යය මේ සියල්ලටම ස්ථාවර ප්‍රතිපත්ති ඕනෑ. කාලානුරූපව වෙනස් කළ යුතු දෑ නැතැයි කියන අදහස මින් කියැවෙන්නේ නෑ. රටක් ඉදිරියට යාමට නම් අපි හැම විටම නව්‍යකරණයට යා යුතුයි. ස්ථාවර ප්‍රතිපත්ති යනුවෙන් අදහස් වෙන්නේ ඒ නව්‍යකරණය නෙමෙයි. රටට හිතකර තීන්දු තීරණ ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් කරන්නේ හුදු දේශපාලන කුහකත්වය මත බව ඉතිහාසය පුරාවට පෙනෙන දෙයක්. ආණ්ඩුවෙන් ආණ්ඩුවට රට කණ පිට හරවන තීන්දු තීරණ අරගෙන වෙනසක් කරන බවට ජනතාවට ඒත්තු ගැන්වීම අපේ රට තුළ මුල් බැසගත් බරපතළ ඛේදවාචකයක්. හොඳ දේ වැඩි දියුණු කරගෙන ඉදිරියට යන සංස්කෘතියත් අපි මෙතෙක් දැක්කේ නෑ.

මෑත කාලයේ බිහිවුණු විධායකය සහ ව්‍යාවස්ථාදායකයත් එකම පක්ෂයක් නියෝජනයක් නෙමෙයි. ජනාධිපතිවරයා ගනු ලබන තීන්දු තීරණ කැබිනට් මණ්ඩලය දන්නේ නෑ. ජනාධිපතිවරයා එක පක්ෂයක. අගමැතිවරයා පුමුඛ ව්‍යවස්ථාදායකය විවිධ වූ පක්ෂවල එකතුවක්. මෙම සංයුතිය තුළ සාමුහික වගකීම සහ සාමුහිකව තීරණ ගැනීම අපිට දකින්නට ලැබුණේ නෑ. පරස්පර විරෝධි අදහස් සමග ගැටෙමින් තමයි ආණ්ඩු අරගෙන යන්නේ. මේ තුළින් රට කොහොමවත් ඉදිරිය කරාගෙන යාමට නොහැකියි. අස්ථාවර පාලනයකින් ස්ථාවර ආණ්ඩුවක් හදන්න බෑ.

ස්ථාවර රජයක් බිහි කිරීමේ දේශපාලන විඤ්ඤානය ජනතාවටත් තිබිය යුතුයි. එළඹෙන මැතිවරණය එයට අවස්ථාවක් කර ගත නොහැකි ද?

ඇයි බැරි. මෙය හොඳම අවස්ථාව ලෙස අපි දකිනවා. 1978, 1994, 2005 ස්ථාවර ආණ්ඩු බිහි වුණා. එම කාලපරිච්ඡේදවල ස්ථාවර ප්‍රතිපත්ති රටට හඳුන්වා දුන්නා. එවායින් සියල්ලම රටට හිතකරයි කියලා අපි කියන්නේ නෑ. නමුත් මෑත කාලයේ බිහි වුණේම අස්ථාවර ආණ්ඩු. ජනතාවටයි මේ වගකීම පැවරෙන්නේ. කුමන අපේක්ෂකයා ජනාධිපති වුවත් ඔහුට ස්ථාවර ආණ්ඩුවක් හදන්න නම් නියෝජනය කරන පක්ෂයෙන් වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමට ජනතාව කටයුතු කළ යුතුයි.

ඒ කියන්නේ මෙම ඓතිහාසික වැරැද්දට වගකිව යුත්තේ ජනතාව ද?

නෑ. අපි එහෙමම කියන්නේ නෑ. අපේ රටේ ජනතාව බුද්ධිමත්. එය ඔවුන්ට පිහිටියේ ඉහළ සාක්ෂරතා හැකියාවත් එක්ක. තීරණ ගැනීමට පෙර තොරතුරු සෙවිමේ පිපාසය අපේ රටේ ජනතාවට තියෙනවා. දේශපාලන ඉව තිබෙනවා. නමුත් බරපතළම ප්‍රශ්නය ජනතාවගේ දේශපාලන විඤ්ඤානය මුවහත් කිරීමට ඇති අවි සියල්ල මොට වු ඒවායි. ජනතාවට තොරතුරු ගලාගෙන යන සියලුම මාධ්‍යය තමන්ගේ පෞද්ලික මතවාද තමයි සමාජයට මුදා හරින්නේ. ඇත්ත ඇති සැටියෙන් කතා කරන පක්ෂග්‍රාහි නොවන, පුද්ගල බද්ධ නොවු සන්නිවේදන ජාලයක් බිහි වුණු සංස්කෘතියක් අපේ රටේ තවම බිහි වී නෑ. ඔවුන් තම පුද්ගලික මත වාද ජනමතය හැසිරවීමට යොදා ගැනීමට උත්සාහ කරනවා. නමුත් බුද්ධිමත් ජනතාව මේ තත්ත්වය ග්‍රහණය කර ගත්තත් එසේ නොවන පිරිසක් රටේ ඉන්නවා. නමුත් සමාජ මාධ්‍යය මෑත කාලයේ කරළියට ඒමත් සමඟ ඇත්තෙන්ම දොරගුළු ලා තිබුණු තොරතුරු ගලා එන්නට පටන්ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා දේශපාලන තුළ ආණ්ඩු බිහි වීමේ දී සුළු පක්ෂවල සහාය සැළකිය යුතු බලපෑමක් සිදු කරනවා. මෙවරත් එය සිදු වෙනවා. මේ පිළිබඳව ඔබේ දැක්ම කුමක්ද ?

ආණ්ඩුවක් බිහි කර ගැනීමට සෑම පක්ෂයක් ම සුළු පක්ෂවල සහාය ඉල්ලනවා. එම පක්ෂවල ඉල්ලීම්වලට වැඩි බරක් දෙන ප්‍රධාන පක්ෂයට සහාය දැක්වීම තමයි මෙතෙක් සිදු වුණේ. නමුත් ඇතැම් අවස්ථාවලදී තම ඉල්ලීම් සම්බන්ධයෙන් සෑහීමට පත් විය හැකි සහනයක් නොලැබෙන විට ස්වාධීනව සිටි අවස්ථාත් තිබෙනවා. ඒ වගේම ඇතැම් ආණ්ඩුවල ප්‍රධාන පෙළේ ඇමැති ධුර දැරූ සුළු පක්ෂ නායකයන් ද සිටියා. මීට හොඳම උදාහරණ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ රජයේ තොණ්ඩමන් අමාත්‍යවරයා ප්‍රබල ඇමැති ධුරයක් දැරුවා. දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කර ගත යුතුතේ අන්න ඒ ආකාරයටයි. ඒ කෙසේ වෙතත් සුළු ජන කොටස්වලට දිනා ගත යුතු සාධාරණ මානුෂිය ඉල්ලීම් තිබෙන බවත් ප්‍රධාන පක්ෂ අවධාරණයෙන් අවබෝධ කර ගත යුතුයි.

ලංකා දේශපාලනය අලුත් විය යුතු යැයි යමෙක් යෝජනා කළොත් ඔබ ඉදිරිපත් කරන ප්‍රමුඛතම යෝජනාව කුමක්ද ?

අලුත් විය යුත්තේ මුහුණු වෙනස් කිරීමෙන් නොවෙයි. ක්‍රියාවලියයි වෙනස් කළ යුත්තේ. කවුරු බලයට පැමිණියත් සහ රාජ්‍ය තන්ත්‍රය පුරාවටම පැතිරී ඇති දූෂණය වංචාව පිටු දැකීමට යන්ත්‍රණයක් සැකසිය යුතුයි. අභිනව ජනාධිපතිවරයාගෙන් ජනතාව එක හෙළා අපේක්ෂා කරන්නේ එයයි. ඒ වගේම රටේ පාලන තන්ත්‍රයට කාන්තා නියෝජනය අවම වශයෙන් සියයට 30ක් දක්වාත් ඉහළ දැමීමට පුරවැසියන් වගබලා ගත යුතුයි. ලංකාවේ දේශපාලනය පිළිකුලෙන් බැහැර කරන තරමට නිර්මාණය වුණු කළු පැල්ලම් ඉතිහාසය පුරාවට තිබෙනවා. ඒ සිද්ධීන් ජනතා පරමාධිත්‍යයෙන් බලයට ඇති ඇතැම් මහජන නියෝජිතයන්ගේ චරිතාපදානයන් නිසා මතු වූ කාරණයි. මෙවැනි තත්ත්වයන් අවම කර ගැනීමට කාන්තාවන් ද රටේ දේශපාලන ක්‍රියාවලියට බද්ධ කර ගත යුතුයි.

සකුන්තලා ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT