Home » කැපීපෙනෙන වර්ධනය සහ වෙළෙඳපොළ විශ්වාසය තහවුරු කරමින් යුනියන් ඇෂුවරන්ස් සවිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි

කැපීපෙනෙන වර්ධනය සහ වෙළෙඳපොළ විශ්වාසය තහවුරු කරමින් යුනියන් ඇෂුවරන්ස් සවිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි

by sachintha
September 5, 2024 10:43 am 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සැපයුම් සමාගමක් වන යුනියන් ඇෂුවරන් “මූලික මිනුම් නිර්ණායක සියල්ල සපුරාලමින් ප්‍රමාණාත්මක වර්ධනයක් සහ සවිමත් කාර්යසාධනයක් පළකරමින් 2024 මුල් අර්ධය සඳහා වාර්තා වූ සිය ආකර්ෂණීය මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර ඇත.

යුනියන් ඇෂුවරන්ස් හි දළ ලිඛිත වාරිකය 2024 වසරේ රු. බිලියන 9.8 දක්වා ඉහළ නැංවුණේ 2023 වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව 16%ක කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කර ගනිමිනි. සියලු ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත සුරැකීම සහ පිරිපුන් සුවසෙත සැලසීම සඳහා වන සිය අරමුණ වෙනුවෙන් කැපවෙමින්, 2024 වසරේ මුල් අර්ධය තුළ හිමිකම් වෙනුවෙන් රු. බිලියන 3.3ක් වාර්තා කරමින් රක්ෂණ ඔප්පුහිමියන් වෙනුවෙන් සිය කැපවීම සමාගම විසින් යළි තහවුරු කරනු ලැබිණි.

සමාගම විසින් අදාළ වසර සඳහා රු.බිලියන 5.7ක ශුද්ධ ආයෝජන ආදායමක්ද වාර්තා කරනු ලැබුවේ, 2023 වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපෙක්ෂව 11%ක ආකර්ෂණීය වර්ධන අනුපාතයක් සනිටුහන් කරමිනි. මෙම ඉහළයෑම සඳහා හේතුකාරක වූයේ වෙළෙඳපොළ තුළ පැවැති අඩු පොලී අනුපාත සහිත පසුබිම තුළ පවා යුනියන් ඇෂුවරන්ස් හි කාර්යක්ෂම වත්කම් වෙන්කිරීමේ උපායමාර්ගික ක්‍රමවේදය වේ.

කළමනාකාරීත්වය යටතේ සමාගමේ පැවැති වත්කම් ප්‍රමාණය 2024 වසරේ මුල් භාගයේදී රු. බිලියන 86.6ක් දක්වා ළඟාවිය. එසේම, ප්‍රාග්ධන ප්‍රමාණත්ව අනුපාතය නියාමන සීමාවට වඩා ඉතා ඉහළ මට්ටමක පවත්වා ගනු ලැබිණි. වෙළෙඳපොළ ප්‍රාග්ධනකරණයද සවිමත් වර්ධනයක් පෙන්වමින්, 2024 වසරේ මුල් භාගයේදී රු. බිලියන 28.6ක් වන පරිදි 22%කින් ඉහළ නැංවුණේ ආයෝජකයින්ගේ විශ්වාසය සහ ධනාත්මක වෙළෙඳපොළ පිළිගැනීම සම්බන්ධ වර්ධනීය තත්ත්වයක් පිළිබිඹු කරමිනි.

මෙම විශිෂ්ට මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින්, යුනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී සෙනත් ජයතිලක මෙසේ පැවසීය: “2024 වසරේ මුල් අර්ධය සඳහා වන මූල්‍ය ප්‍රතිඵල අප ප්‍රකාශයට පත් කරන්නේ ඉමහත් සතුටින්. මෙහෙයුම් පසුබිම තුළ පැවැති අවිනිශ්චිතතා හමුවේ පවා, යුනියන් ඇෂුවරන්ස් හි විශිෂ්ට කාර්ය සාධනය මඟින් විදහාපාන්නේ තිරසර වර්ධනය ඉදිරියට රැගෙන යන අතරම පාරිභෝගිකයින්, කොටස්හිමියන් සහ අනෙකුත් පුළුල් ජනසමාජය ඇතුළු සියලු ව්‍යාපාර සහකරුවන්ට සුවිශේෂ අගය පිරිනැමීම උදෙසා එය සතු ස්ථාවරත්වය, කාර්යක්ෂමතාව සහ නොසැළෙන කැපවීමයි. මේ වසරේ අපගේ ගමන්මඟෙහි අඛණ්ඩව ඉදිරියට යන විට, කැපවීමෙන් යුතු අපගේ කණ්ඩායම නිරතුරුවම අවධානය යොමු කරන්නේ වටිනාකම තවත් ඉහළ නංවමින් සහ මේ වසර සාර්ථකව නිමා කරමින්, මෙරට ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් ලෙස අපගේ තත්ත්වය යළි තහවුරු කිරීමටයි”

යුනියන් ඇෂුවරන්ස් යනු විවිධ කර්මාන්ත අංශ 7ක ව්‍යාප්ත සමාගම 70කට අධික ප්‍රමාණයක් සමඟ ක්‍රියාත්මකව පවතින, කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත විශාලතම ව්‍යාපාර සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී (JKH) හි අනුබද්ධ සමාගමකි. වර්ෂ 2024 මාර්තු මාසය අවසාන වනවිට රු. බිලියන 27.6ක වෙළෙඳපොළ ප්‍රාග්ධනකරණයක්, සහ රු. බිලියන 67.8ක ජීවිත අරමුදලක් සහිතව දශක තුනකට අධික කාලයක් සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට මෙම සමාගම සමත්ව ඇත. ජීවිත වෙත රැකවරණය සලසන අතරම සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා පිරිපුන් සුවසෙත සැලසීමට කැපවී සිටින යුනියන් ඇෂුවරන්ස්, ශ්‍රී ලාංකිකයින්ගේ සෞඛ්‍ය, ආයෝජන, රැකවරණය, විශ්‍රාම, සහ අධ්‍යාපන අවශ්‍යතා ආවරණය කරන ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ 3000කට අධික සවිමත් සේවා බලකායක් සමඟ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ නිරන්තර වෙනස්වීම් අනුව හැඩගැසෙමින් පාරිභෝගික කේන්ද්‍රීය විශේෂ අවධානයක් සහිතව ජනතාව, නිෂ්පාදන, සහ ක්‍රියාවලීන් උදෙසා ආයෝජනය කිරීමට යුනියන් ඇෂුවරන්ස් නිබඳව කටයුතු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT