පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පිළිබඳ විවාදය ඊයේ (03) සිදුකිරීමට නියමිතව තිබුණ ද එය විවාදයට නොගැනීම හේතුවෙන් ස්ථාවර නියෝග උල්ලංඝනය වී ඇති බවත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ගන්නා ලද තීන්දු කඩකර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (03) ප්‍රකාශ කළේය.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා මෙසේද
පැවසීය.
මේ සම්බන්ධයෙන් තමන් ජනාධිපතිවරයාගෙන් පවා විමසීම් කළා. අදාළ යෝජනාව සම්බන්ධයෙන් සභානායකවරයා දැනුම්වත් කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
දෙමළ ජාතික සන්ධානය මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කිරීම මෙම යෝජනාව විවාදයට නොගැනීමට හේතුවූවා දැයි යන සැකය ඇති වෙනවා. කෙසේ වුවද මෙය දෙමළ ජනතාවගෙන් සිදුකළ පළිගැනීමක්.
පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් තිබුණා මම ඉදිරිපත් කරපු. ඒක පළවැනි වර කියෙව්වා. ඒකට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නා. ඉන්පසුව දෙවනවර කියවීමෙන් පස්සේ අදාළ අමාත්‍යාංශය නියමිත මාස 06ක කාලය තුළ වාර්තාවක් ලබා දුන්නේ නෑ. ඒ අනුව දෙවැනි වර කියවීමේදී එය විවාදයකින් තොරව, ඡන්ද විමසීමකින් තොරව සම්මත වුණා. දැන් සිදුවෙලා තියෙන්නේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී අද ඉදිරිපත් කරන්න සම්මත කරගත් කෙටුම්පත අද න්‍යාය පත්‍රයට ඇතුළත් වෙලා නෑ. මේක අද දින අරගෙන නැත්තේ ඇයි? දේශපාලනික කරුණක් නිසා ද මේක පරක්කු වෙන්නේ? ඉලංගෙයි තමිල් අරසු පක්ෂය තීරණයක් අරන් තිබෙනවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් අපේක්ෂකයෙකුට සහය දක්වන්න. මේක ඉතා අමිහිරි දෙයක් සිදු වෙන්නේ. ස්ථාවර නියෝග උල්ලංඝනය කරමින්, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ ගන්නා තීරණ උල්ලංඝනය කරමින් කටයුතු කරන්නේ. අපේ පක්ෂය ජනාධිපතිවරයාට සහය නොදක්වන්න තීරණය කරලා තියෙන නිසා තමයි මේ තීරණය අරන් තියෙන්නේ. මේක දෙමළ ජනතාවට එරෙහිව සිදු කරන පළිගැනීමක්. මම ඊයේ ජනාධිපතිතුමාට කතා කළා. එතුමා කිව්වා ප්‍රශ්නයක් නෑ තුන්වන වර කියවීම කියලා.
සභානායක ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් මහතා-
එතුමා ගෙනාපු පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ඉතාම හොඳයි. මම පළාත් සභාවක හිටිය මහ ඇමැතිවරයෙක් ලෙස මම එකඟයි. මම ඊයේ එතුමාට කිව්වේ කලින් මිනිට්ස් වල එහෙම තිබ්බත් යම් මන්ත්‍රීවරයෙක් විරුද්ධ වෙලා විවාදයක් ඉල්ලනවා නම් අපි ඒක දෙන්න ඕනෑ. මෙන්න මේ ප්‍රශ්නය අද මතුවෙන්න තියෙන නිසා තමයි, විශේෂයෙන්ම ජනාධිපතිවරණයක මැද අපි ඉන්න නිසා තමයි, නැත්නම් අපිට ප්‍රශ්නයක් නෑ. මෙතන ප්‍රශ්නය තියෙන්නේ සමහර මන්ත්‍රීවරු මේ යෝජනාවට විරැද්ධයි. දැන් ඒ අවස්ථාව තියෙනවා.