ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් අතීතකාමී විග්‍රහයක් කර ඇති බවත්, ඉදිරිගාමී විග්‍රහයක් කර නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා ප්‍රකාශ කළේය.
මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ පෙරේදා (02) සමඟි ජන සන්ධානයේ මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.
“ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳව අපි බරපතළ විවේචනයක් මතු කර තිබෙනවා. ආණ්ඩුවක් ආවාම කරන්න තියෙන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ප්‍රධාන අදහසක් තමයි ගේන්න ඕනෙ. අතීතයේ ආණ්ඩු කළේ කොහොමද, වෙන වෙන ආණ්ඩු කළේ මොනවද කියලා විග්‍රහයක් නෙවෙයි ප්‍රතිපත්තියක් කියන්නේ. විග්‍රහයක් අවශ්‍යයි. විග්‍රහයක් අවශ්‍ය වුණාට හැබැයි ප්‍රතිපත්ති ඉදිරිගාමී එකක්. ඊළඟට කරන වැඩේ ගැන. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දැනුම තියෙන කෙනෙක් තමයි නිර්මාණය කරන්න ඇත්තේ. හැබැයි ඒකේ තියෙන ප්‍රශ්නය තමයි අතීතගාමී ප්‍රශ්නයක්. මීට ඉස්සරහට කොහොමද වුණේ ගැන විග්‍රහයක් කර තියෙනවා. ඉදිරියට කොහොමද කරන්නේ කියන එක ගැන අදහසක් නෑ. ඒක අතීතකාමි මිස ඉදිරිගාමි නෙවෙයි.
දෙවෙනි එක ඒකේ තියෙන විශේෂණ පද තාර්කිකව පෙන්නුම් කරන්න පුළුවන් ඒවා නෙවෙයි. කවි ලියනවා වගේ නෙවෙයි. පැහැසර හෙටක් සුවබර උදෑසනක් වාගේ විශේෂණ පද තමයි දාන්නේ. ඒවා ගීතවල තමා තියෙන්නේ.
රෝහණ බැද්දගේ මහතාගේ ගීතයකුත් තියෙනවා. ඒකේ සම්පූර්ණයෙන් තියෙන්නේ විශේෂණ පද. දෑසමන් මලක් වගේ ප්‍රියංකරයි සුකෝමලයි. මේ ගීතයේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ විශේෂණ පද. අපට නිරීක්ෂණය වුණ එක දෙයක් ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ වැඩසටහනේ තියෙන්නේ. මේකට තරහ වෙලා කෑගැසිය යුතු නෑ. මේක පැහැදිලිවම විවේචනයක්. මේක අතීතකාමි මිසක් ඉදිරිගාමි නෙවෙයි. විශේෂණ පද දාපු දේශපාලන වශයෙන් යථාර්ථයකට ගේන්න බැරි කරුණු. මේ රටේ ජනතාව මේක තේරුම් ගන්න ඕනෙ. ඒ කියන සුන්දර වචනවලින්, විශේෂණ පදවලින් එහාට ගිහිල්ලා කරුණුමය වශයෙන් යම්කිසි දෙයක් කිරීම තමයි දේශපාලනයේ වැදගත් වෙන්නේ. අපේ රටේ සෑහෙන කාලයක් පුරා විශේෂණ පද යෙදූ දේශපාලනයක් තිබ්බා. මේකෙන් එළියට යන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඒ සමගි ජන බලවේගය ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ක්‍රියාත්මක කළ හැකි දේවල් මිසක හුදු සිහින විකුණන තොටුපොළක් බවට පත්කරන්නට අපේ අදහසක් නැති නිසා. විවේචනයට කලබල විය යුතු නෑ. හරි පිළිතුරක් දීම තමයි වැදගත් වෙන්නේ.
මේ දවල්වල මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපතිවරයාගේ කාලය අවසන් වෙලා කියලා අලුතින් සභාපතිවරයෙක් පත් කරන්න යනවා කියලා අපට ආරංචියක් තියෙනවා. මහජන උපයෝගිතා කොමිසම කියන්නේ ඉතාමත්ම වැදගත් ආයතනයක්. විදුලිබල ක්ෂේත්‍රයේ තිබෙන අනාගත ව්‍යාපෘතිවලට අනුමැතිය දෙන්නේ මේ කොමිසමෙන්. සමහර ව්‍යාපෘති සම්බන්ධයෙන් මේ වන විට විශාල ප්‍රශ්න තියෙනවා.
අපේ රටේ විධායක ශ්‍රේණිය ඇතුළුව රාජ්‍ය සේවය හා සම්බන්ධව මේ දිනවල ලොකු සංවාදයක් මතුවෙලා තිබෙනවා. රාජ්‍ය සේවය සම්බන්ධව දේශපාලන මතවාද අද සමාජයේ ඇතිවෙලා තිබෙනවා. රාජ්‍ය පරිපාලන සේවයේ අනුමත කාර්ය මණ්ඩලය 3231 යි. නමුත් ඉන්නේ 2221 යි. ක්‍රමසම්පාදන (ප්ලැනින්) එකේ අනුමත කාර්ය මණ්ඩලය 1299 යි. ඉන්නේ 940. ගණකාධිකාරි අනුමත 2065 යි. දැන් ඉන්නේ 1471යි. ඉංජිනේරු අනුමත කාර්ය මණ්ඩලය 1520 යි. 1127යි ඉන්නේ. විද්‍යාත්මක සේවයේ අනුමත සේවය 679යි. ඉන්නේ 372යි. වාස්තු විද්‍යා අනුමත සේවය 70ක් අනුමතයි 50යි ඉන්නේ.
මේ හැම ක්ෂේත්‍රයකම ගැටලු ගණනාවක් තියෙනවා. වැටුප් විෂමතා ගැටලු තියෙනවා. සමහර ශ්‍රේණිවලට නිල නිවාස ගැටලු තියෙනවා. තනතුරු පුරප්පාඩු නිසා ඇතිවන ගැටලු ගණනාවක් තියෙනවා. ඒ විධායක ශ්‍රේණිය වෙනුවෙන් අපේ ආණ්ඩුවක් තුළ රටට අවශ්‍ය කරන රාජ්‍ය සේවයේ ප්‍රමාණය පිළිබඳව මානව සම්පත් විගණනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හරහා රාජ්‍ය සේවයේ ක්‍රියාදාමය ප්‍රතිසංස්කරණය කරන්න බලාපොරොත්තු වෙනවා. මහජන සේවය ප්‍රමිතියකට ඉටු කිරීම සඳහා මේ ආණ්ඩුවට පාස්පෝට් එකක්වත් දෙන්න බෑ. එතනට ගියාම පුදුම හිතෙනවා. කිලෝමීටර් 2-3ක් දිගයි පෝලිම. පොලිසිය දාලා පාස්පෝට් දෙන්නේ. ජනතාව විශාල දුකකට පත් වෙනවා. අපේ රට ගැන රාජ්‍ය සේවය ගැන විශාල කනගාටුවක් ඇති වෙනවා. එහෙම රාජ්‍ය සේවය අවුල්සහගතව කරන්න දෙන්නේ නැතිව මනා ප්‍රමිතිකරණයකින් කරන්න ඩිජිටල් යටිතල පහසුකම් සම්බන්ධ පදනමක් ඩිජිටල්කරණය අයි.ඩී. එකක් සමඟ ඉක්මනින් ක්‍රියාත්මක කරනවා.
රාජ්‍ය සේවයේ වැටුප 2025 ජනවාරි සිට සියයට 24කින් ඉහළ දාන්න තීරණය කරලා තියෙනවා. ආර්ථිකය පිළිබඳව අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉතා පුළුල්ව විස්තර කරලා තියෙනවා. මේ මාසේ 4 වැනිදා ආර්ථික වැඩසටහන ඉදිරිපත් කරන්න තියෙනවා. රටේ ධනය නිෂ්පාදනය ගොඩ නගන එක රජයට පමණක් නොව පෞද්ගලික අංශයටද සඳහා වූ නෛත්‍රික ප්‍රතිපාදන, ප්‍රතිපත්තිමය ප්‍රතිපාදන සහ අනෙකුත් යටිතල පහසුකම් හදන්න අපේ ආර්ථික සැලසුමේ ඉතා වැදගත් කාරණයක්.
රටේ ජනතාවට රැකියා නිර්මාණය වන පරිදි ආර්ථිකය හැසිරවීම. ඒකෙන් කියන්නේ ආණ්ඩුව රැකියා දෙනවා කියන එක නෙවෙයි. රටේ රැකියා ඇති වෙන පරිදි ආර්ථිකය ක්‍රියාත්මක කිරීම. සුභසාධන යන්ත්‍රණය අපේ රටේ වසර 70ක් තිස්සේ තියෙනවා. සෞඛ්‍ය ගත්තත් අධ්‍යාපනය ගත්තත් වසර 70ක් තිස්සේ තියෙනවා. සුභ සාධනය හා සම්බන්ධ වෙච්ච ආකෘතියක් තියෙනවා.”
රක්ෂණ ශ්‍රියන්ත