විල්පත්තුව ජාතික වනෝද්‍යානය මැද පිහිටි පල්ලේකන්දල් පල්ලියට බැතිමතුන් පිරිසකට ඇතුළු වීමට ඊයේ ඉඩ සැලස්වූ වූ වනාතවිල්ලුව පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධව විශේෂ පරික්ෂණයක් ආරම්භ කරන බව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා ඊයේ (03) පැවසීය.
පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව පවසා සිටියේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පියතුමකු හා කතෝලික බැතිමතුන් 100කට අධික පිරිසකට ඇතුළුවීමට ඉඩ සැලසැවීමට ස්ථානාධිපතිවරයා පසුගියදා ක්‍රියාකිරීම සම්බන්ධයෙන් වන චෝදනාව පිළිබඳව ප්‍රශ්න කෙරුණු අවස්ථාවේය. වනජීවී නිලධාරීන් පවතින නීතිමය තත්ත්වය හමුවේ වනෝද්‍යානයට ඇතුළුවීමට එම බැතිමතුන්ට ඉඩ දිය නොහැකි බව පැවසීම නිසා ඇතිවූ කලබලකාරී තත්ත්වය මැද සිද්ධියට මැදිහත් වූ ස්ථානාධිපතිවරයා අදාළ පිරිස පල්ලේකන්දල් සිද්ධස්ථානය වෙත යැවිමට ක්‍රියාකර තිබුණි.
පල්ලේකන්දල් සිද්ධස්ථානයේ ඉතිහාසය ගැන සැලකිල්ලට ගනිමින් වාර්ෂික මංගල්‍යයට පමණක් සෑම වසරකම ජූලි මාසයේ දින හතරක් එම සිද්ධස්ථානය වන්දනාමාන කිරීමට පමණක් ඉඩ ලබා දීමට නීතිපති දෙපාර්තුමේන්තුව විසින් වනජීවී දෙපාර්තමේන්තුව හා සිද්ධස්ථානයේ භාරකරුවන් සමඟ කොන්දේසි මාලාවක් මත එකඟතා ගිවිසුමක් ඇතිකරගෙන ඇත්තේ මෙම පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනිමේ අදාළ උපදෙස් මාලාවක් ද ඇතිවය.
අදාළ දින හතරින් පසු සාමාන්‍ය ලෙස වනෝද්‍යානයේ පවතින නීති රාමු මෙම පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනිමට උපකාරී වන අයුරින් වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත අනුව වනජීවී නිලධාරින් තම කටයුතු මෙහෙයවිය යුතු බවයි.
එවන් වටපිටාවක් මැද ඊයේ (03) දිනද මෙම සිද්ධස්ථානය වෙත යාමට වනාතවිල්ලුව හිටපු මීසම් පාලක කමල් ඩෙමියන් පෙරේරා පියතුමන් සමග බැතිමතුන් 100කට අධික පිරිසක් බස් රථ හා වෑන්, ලොරි ඇතුළු වාහන රැසකින් පැමිණ වන උද්‍යානය තුළට යාමට අවස්ථාව ඉල්ලා තිබූ අතර එහිදී ද එළුවන්කුලම වනජීවී නිලධාරීන් ඒ සඳහා අවස්ථාව ලබා දීමට නොහැකි බව පවසා තිබුණි.
ඉන් පසුව එම ස්ථානයේ සිටි වනාතවිල්ලුව පොලිස්ථානාධිපතිවරයා විසින් මෙම තත්ත්වය ගැටුම්කාරී තත්ත්වයක් දක්වා යාමට ඉඩ නොතබන ලෙසත් බැතිමතුන් සඳහා සිද්ධස්ථානය වන්දනා කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසත් කියමින් බලපෑම් කර ඇති බව කියයි.
පොලිස්ථානාධිපතිවරයා එසේ බැතිමතුන් සඳහා අවස්ථාව ලබා දීමට කටයුතු කරන ලෙස වනජීවී නිලධාරීන්ට දැන්වීමත් සමඟ වනජීවී නිලධාරීන් දැඩි ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දුනි.
කෙසේ වෙතත් පොලිස්ථානාධිපතිවරයා මැදිහත් වුවද වනජීවී නිලධාරීන් උද්‍යානය තුළට ගමන් කරනු ලබන දොරටුව විවෘත කිරීම ප්‍රතිප්ෂේප කිරීමත් සමඟ වන්දනා කිරීමට පැමිණි පිරිස දැඩි ආවේගයකින් කටයුතු කරන්නට සැරසෙන ආකාරය දැකගත හැකි විණි.
එහිදීද පොලිස්ථානාධිපතිවරයා මෙම දොරටුව වන්දනාකරුවන්ට විවෘත කර දෙන ලෙසට වනජීවී නිලධාරීන්ට පවසා තිබුණි.
කෙසේ වෙතත් වනජීවී නිලධාරීන් පවසන්නේ තම රාජකාරීයට බාධා වෙමින් මෙලෙස පොලිස්ථානාධිපතිවරයා හා බැතිමතුන් ක්‍රියා කිරීම බරපතළ ගැටලු සහගත තත්ත්වයක් බවයි.
මේ පිළිබඳව විල්පත්තුව උද්‍යාන භාරකරු සුරංග රත්නායක මහතා පවසා සිටියේ ජාතික වනෝද්‍යානයක් තුළට මෙලෙස ඇතුළු වීමට අවසර දීමට නීතියෙන් ඉඩ සලසා නැති බවයි.
මෙසේ පැමිණි පිරිසට ඉදිරියේදී නීත්‍යනුකුල පියවර ගැනිමට කටයුතු කරන බවද පැවසීය.
පුත්තලම නියෝජය පොලිස්පති නාලක සිල්වා මහතා පවසා සිටියේ වනාතවිල්ලුව පොලිස්ථානාධිපතිවරයා 3 දින උදෑසන තමන් ඇමතූ බවත් එහිදී අදාළ නොවන කිසිදු කටයුත්තකට මැදිහත් නොවන ලෙසට උපදෙස් ලබා දී තිබියදී මේ ආකාරයට අදාළ පල්ලේකන්දල් සිද්ධස්ථානයට ගමන් කිරීමට ඉඩ සැලැස්වීමට මැදිහත් වීම ගැන තමන් පොලිස්ථානාධිපතිවරයාට එරෙහිව පරික්ෂණයක් පවත්වන බවත්ය.
පුත්තලම අතිරේක හිරාන් ප්‍රියංකර ජයසිංහ