නෙදර්ලන්තයේ ශ්‍රී ලකා තානාපතිනි රේඛා ගුණසේකර මහත්මිය රසායනික අවි තහනම් කිරීමේ සංවිධානයේ (OPCW) ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය වශයෙන් එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ෆෙර්නාන්ඩු ආරියස් මහතාට අක්තපත්‍ර පිළිගන්වා තිබේ.
නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි රසායනික අවි තහනම් කිරීමේ සංවිධානයේ මූලස්ථානයේ පැවැති උත්සවයකදී ඒ මහත්මිය අක්තපත්‍ර පිළිගන්වා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. එහිදී අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ශ්‍රී ලංකා තානාපතිනියට සුබපැතුම් එක් කර තිබෙන අතර, සංවිධානයේ කටයුතු, නිරායුධකරණය සහ ප්‍රගුණනය නොවන ක්‍රියාකාරකම් සඳහා එහි දායකත්වය පිළිබඳ ඇය දැනුවත් කර තිබේ. මේ අතර රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සහයෝගිතාව සහ සහාය අගය කර තිබේ.
රසායනික අවි තහනම් කිරීමේ සංවිධානයේ පර්යේෂණ, මෙහෙයුම්, විශ්ලේෂණ සහ ධාරිතා ගොඩනැඟීමේ හැකියාවන්ට අදාළව නව රසායන විද්‍යාව සහ තාක්ෂණ මධ්‍යස්ථානයේ (ChemTech මධ්‍යස්ථානය) ක්‍රියාකාරකම්ද ගෙනහැර දක්වා ඇත.
මෙහිදී අදහස් දක්වමින් නෙදර්ලන්තයේ ශ්‍රී ලකා තානාපතිනී රේඛා ගුණසේකර මහත්මිය රසායනික අවි තහනම් කිරීමේ සංවිධානයේ වැඩ කටයුතු සඳහා දැඩිලෙස කැප වී සිටින බව සඳහන් කර තිබෙන අතර රසායනික අවි සම්මුතිය ඵලදායි ලෙස ක්‍රියාවට නැංවීම සඳහා කැප වී සිටින අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රමුඛ තාක්ෂණික ලේකම් කාර්යාලය, විශේෂයෙන්ම පසුගිය වසරේ ප්‍රකාශිත සියලු රසායනික අවි තොග විනාශ කළ බවට තහවුරු කිරීම සම්බන්ධයෙන් ඇය ප්‍රශංසා කර තිබේ.
රසායනික අවි තහනම් කිරීමේ සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර පවතින සමීප සහයෝගිතාව පිළිගෙන තිබෙන තානාපතිනිය, ඉදිරි වසරවල විශේෂයෙන්ම රසායනික කර්මාන්තයට අදාළව ධාරිතා ගොඩනැංවීමේ ක්‍රියාකාරකම්වලදී වැඩිදියුණු කරන ලද සහයෝගිතාවක් අපේක්ෂා කරන බව ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකාව එම සංවිධානයේ ජාත්‍යන්තර සහ කලාපීය රැස්වීම්/ සම්මන්ත්‍රණ පැවැත්වීම සඳහා ස්ථානයක් ලෙස සලකා බලන ලෙස තානාපති ගුණසේකර මහත්මිය එම සංවිධානය තවදුරටත් දිරිමත් කර තිබේ.
1993 ජනවාරි 14 වන දින සම්මුතියට අත්සන් කර 1994 අගෝස්තු 19 වන දින එය අනුමත කර ඇති ශ්‍රී ලංකාව රසායනික අවි සම්මුතියට මුල් අත්සන් තැබූ රටවලින් එකකි.
මහින්ද අලුත්ගෙදර