ස්වභාව ධර්මයේ නියමය පරිද්දෙන් ම තවත් දීප්තිමත් දවසක ආරම්භය සනිටුහන් වී තිබේ. අරුණාලේකය දසත පැතිර යන්නේ ලැව් ගින්නක් සේ වේගවත්වය. ආර්මේනියාවේ තද ග්ලැසියර් තට්ටු තරණය කොට සීතලේ ගැහෙමින් තවදුරටත් ඉදිරියට යාගත නොහැකිව දඟලන වයස්ගත මනුෂ්‍යයෙක් කැස්පියන් වෙරළ තීරයෙහි නතර වී හති – අරින්නට පටන් ගත්තේ ය. බලාගෙන යන විට ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරයෙකි. බංගලිදේශයේ කලබලවලින් පසු මෙලෙස ඉබාගාතේ ඇවිද යයි. දේවල් සිදු වන්නේ අප සිතන – පතන අයුරින් ම නොවේ. නීතිය සියල්ලට ඉහළින් පවතින්නේ යැයි කියූවද දැන් එය පවතින්නේ අරගලකාරයින්ට යටින්ය.
(“They won; We loost”) විනිශ්චයකාරයා කෙඳිරුවේය. ඔහු සිය හිස්වැසුම, කබාය හා ටයිපටිය ගලවා කැස්පියන් මුහුදට විසි කළේය. විනිශ්චයකාරයාගේ දැනුමට අනුව ලොව විශාල ම ගොඩබිම් ජලාශය කැස්පියන් මුහුදය. ඔහු ඒ දෙස බලා සිටියේය.
“සිහිනයන් දිග පැමිණි
අසිරිමත් වසන්තය
කැස්පියන් වෙරළ ළඟ
සදහටම නතර විය”
ජල තටාකයෙහි රළ පන්තිය හිරු රැස් වැටී දිළිසෙන්නට පටන් ගත්තේය. මේ අතර වෙරළෙහි සිහින් මෘදු වැල්ලෙහි අශිලාචාර ලෙස උඩුකුරුව වැතිර සිටින තරුණියකි. ඇය කොණ්ඩය කොටට කපා සැහැල්ලු ඇඳුමකින් සැරසී සිටින්නී ආසියානු ගැහැනියක නොව ලෙසින්ය. වම්පාදය මත දකුණු පාදය තබා දෙපැත්තට පැද්දෙන තරුණිය පොතක් කියවයි. එහි සිරස්තලය “A NEW LIFE” යනුවෙන් සටහන් වී ඇත. සන්දර්භ කුමක් වුව සිරස්තලය නම් ඇයට හොඳින්ම ගළපා ගත හැකිය.
“හලෝ කාංචනා මොකද මෙහේ!?
“මා මේ ලුණු ඩිංගක් සපයාගන්ට කියල!“
“ඉතින් පුත්තලමට හරි හම්බන්තොටට හරි යන්ඩ එපායැ මෙච්චර දුර?“
“පුත්තලමෙ හුළං මෝලක් හදනවලු! ඇඟිල්ලක් ගහන්ඩ ඉඩක් නෑ! හම්බන්තොට ප්‍රති -අපනයනය පටන් අරන්! හෝටල් ගාස්තු අන්තිම ඉහළයි. අනික ලෝකෙ හොඳම ලුණු කැස්පියන් මුහුදෙන් කියල කතාවක් අහල නැද්ද?“
“ඒකත් එහෙම ද? දැන් කවි ලියන්නෙ නැද්ද?“
“ලියන්නෙ නෑ! කවි කොටනවා!“
කාංචනා අමිලානිගේ තෙවන කවි පොත සමාජ ගත කර තිබේ. එය හඳුන්වා ඇත්තේ ‘කාල රේඛාව‘ යනුවෙන්ය. කාලය, ජීවිතය හා මානව සම්බන්ධතා ඈත අතීතයේ සිට ම කවියට විෂය විය. අදටත් – හෙටටත් එය එසේම පවතී.
යුද්ධයකින් හෝ අර්බුදයකින් හෝ පසු ඇතිවන දීර්ඝ නිහැඬියාව තරමක් භයානකය. එය මිනිසාගේ චිත්තය අවුල්කරන සුලු පොදු සාධකයක් බවට පත්වේ. විශ්වාසය ගිලිහී යයි. ඉලක්ක විසිරෙයි. සැලැසුම් අහිමිවෙයි. හුදෙකලාව, තනිකම, භීතිය, අවිනිශ්චිත බව රජයයි. එවිට තම ප්‍රකාශන සඳහා අලුත් උපායමාර්ග සොයන්නට ද නව රිද්ම – තාල හදන්නට ද අපට සිදුවනු ඇත. කාංචනා මුහුණ දී ඇත්තේ එම අභියෝගයටය. සැමුවෙල් බෙකට්, ඉයුජින් අයනෙස්කෝ වැනි නාට්‍යකරුවන් විකාර රූපී රංග කලාව බිහි කළේ මෙබඳු පසුබිමක් යටතේය. එය හරි අපූරු ආශ්චර්යවත් උපාය මාර්ගයකි. කාංචනා ළඟ ද විකාර රූපී රංගන ප්‍රවේශයක් පවතී. එය කවියෙන් එළියට එන්නේ අසම්මතයක් හා එදිරිවාදිකමක් හැටියටය.
මේ හැරෙන්නට ඇගේ නිර්මාණ තුළ පවත්නා විශේෂ සාධක කිහිපයක් පෙන්වා දෙන්නට කැමැත්තෙමි.
(I) හිතුවක්කාරී ගතිය (රැඩිකල්වීම)
(II)හැම කවියකටම වෙනම හැඩතලයක් (රිද්මය, ආකෘතිය)
(III) කවිය පසුබිමේ කතාවක් (කවියක් පසුපස වෘත්තාන්තයක් තිබේ.)
(IV) සරල නිරවුල් භාවයක් (කට වහරට බරයි.)
(V) අසම්මතය පෙරට (නිදහස් රචනා විලාසය)
(VI) සම්ප්රදාය විරෝධී බව (කැරැල්ලක් ගැසීම)
නූතන සමාජය නොයෙක් ආකාරයෙන් හෙම්බත් ව සිටී. එය සමස්ත ලෝකයට ම පොදු සාධකයක් ලෙස පවතී. ඒ අතර ලෝකයම නොසන්සුන්ය. ඍජු හේතු කිහිපයක් දැක්විය හැකිය.
(I) තෙවන ලෝක යුද්ධයක භීතිකාව
(II)ආර්ථික අර්බුදය උත්සන්න වීම හා සාගතය පැතිර යෑම
(III) සෑම රටකම දේශපාලනය අස්ථාවර වීම
(IV) බලවතුන් අතර ද කලාප අතර ද ශීතල යුද්ධ හා වෙළෙඳ තරග උත්සන්න වීම
මේ සියල්ල එක ම භීතිකාවක් බවට පත් වී ලෝකයට අභියෝග කරයි. හෙට ගැන නිච්චියක් කිසිවකුට නැත. මේ මොහොතේ ජීවත්වීම කාගේත් අපේක්ෂාව වී ඇත. ඉන් එහා දෙයක් නැත. සැනසිල්ලක් ඇත්තේ ම නැත. තෙවන ලෝක යුද්ධයක් ඇතිවුවහොත් සිදුවන විනාශය සිතා ගැනීමටවත් බැරිය. මේවා ගැන කියැවීමක් ඇතත්- නැතත් අර්බුදයට මුහුණදීමට කාටත් සිදුවෙයි. මෙබඳු පසුබිමක් තුළ වහ – වහා වෙනස්වීමට වුවමනා බව සමහරු පෙන්වා දෙති. ඊට ප්‍රමාද වැඩියැයි තව අය කියා සිටිති. කවියා තම අඳෝනාව පමණක් ලියා තබයි. ඉන් එහා දෙයක් ඔහුට කළ නොහැකි ය.
“මිය ගොස්ය පළමු සිහිනය
කතා නොකරයි. කතා කළ යුතු
කිසිවක්
නිහඬ ය. පැටලිලි සහගත ය.
බොහෝ දේ මින් ඉදිරියට
සන්තෘෂ්ටිය තටු ගසමින්
ඉගිළෙන්න තැත් කරයි
ඒ සරුංගලයකි
කිසිවිට මා අත්පත් නොකරගත්”
(පණිවිඩ – පිටුව11)
සතුට සියලු දෙනාගේ අපේක්ෂාව විය හැකිය. එහෙත් සිතන-පතන අයුරින් එය ළඟා වන්නේ නැත. පවතින්නේ ද නැත. එය ක්ෂණිකව පලා යයි. එපමණක් නොව; මිනිසා සතුට පවත්වා ගැනීමට දන්නේ ද නැත. මෙය සත්‍යයකි. කාංචනා පොදු සත්ත්වයාට සිනාසෙන බවක් පෙනෙයි. ඇතැම් දේවල් දෙස උපහාසයෙන් බැලීම කාංචනාගේ එක් ශිල්ප ධර්මයකි.
“දවසක දිග” කාංචනාගේ කවි පොතෙහි මගේ සිත්ගත් මහාර්ඝ නිර්මාණය වෙයි. කාල රේඛාව යන සිරසෙහි විවිධාර්ථවත් බව ද ඉන් ධ්වනිත වෙයි. නිදි මරන්නාට රාත්‍රිය දිග බව කියනු ලැබේ. අවිනිශ්චිත ලෝකයක හෙටක් ගැන අපේක්ෂාවක් නැති මිනිසකුට මුළු දවසම දිගුයි. එය කරදරයක්. අමාරු හිසරදයක් වූ විට කාලය බෙදා වෙන්කරගෙන සැනසිල්ලක් ලැබීමට ඔහු පෙලඹෙයි.
‘දවසෙන් කාලක්
ජනේලයෙන් ඉවත බලමි.
ලේන්නු, ගිරව් සහ කෑරළලුන්
මුදු මුහුණු පෙන්වමින්
පින්තූරවලට පෙනී සිටිති.
දවසෙන් කාලක්
තේ බොමින්, කල්පනා කරමින්
පෙම් කළ දවස ඔබට කියන්නට තිබුණු
උඩඟුකමට නො කී දෑ සිහිපත් කරමි.
පොඩ්ඩක් අඬමි
යළිත් හෙට වඳිමි
කබඩ් අදිමින් සිහිවටන සොයමි
පරාජිතව බිම වැතිර
පැරණි පින්තූර පිරිමදිමි.”
(දවසක දිග පිටුව 82)
බැලූ බැල්මට පෙනෙන්නේ අතීත ප්‍රේමයක් පිළිබඳ බිඳ වැටුනු අපේක්ෂාවෙන් ශෝකවන පෙම්වතියකගේ නිරූපණය. එහෙත් මෙහි යටි පෙළින් කියැවෙන්නේ සමාජ ක්‍රම විකාශය, දියුණුව හා මානව සබඳතා පිළිබඳ කතාන්දරයකි. ඉතිහාසයේ වැරදි ප්‍රේමයට පමණක් නොව ආර්ථිකයට හා දේශපාලනයට ද පොදුය. මේ අනුව කාංචනාට කන්දීමට අප කාටත් සිදුවේ.
රන්ජන් අමරරත්න