Home » චමරි සංගක්කාර යන අඩි පාරේ

චමරි සංගක්කාර යන අඩි පාරේ

by sachintha
September 3, 2024 1:58 am 0 comment

බටහිර ඉන්දීය දූපත්වල පැවැති කැරිබියන් ප්‍රිමියර් ලීග් කාන්තා තරගාවලියේ අවසන් මහා තරගයේදී ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් පිල කඩුලු 4කින් පරදවා බාබඩෝස් රෝයල්ස් පිල ශූරතාව දිනාගත්තේය. මීට පෙර 2022දී කැරිබියන් ප්‍රිමියර් ලීග් කාන්තා තරගාවලියේදී ගයානා ඇමසෝන් වොරියර්ස් පිලට ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකාරිනිය චමරි අතපත්තු මෙවර බාබඩෝස් පිල නියෝජනය කරමින් අවසන් මහා තරගයේදී නොදැවී ලකුණු 39ක් රැස් කිරීමට සමත් වූවාය.

මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේදී බාබඩෝස් රෝයල්ස් පිලට එක්වූයේ එහි ක්‍රිකට් ප්‍රධානියා ලෙස කටයුතු කරන කුමාර් සංගක්කාර නිසා බව ශූරතාව දිනාගැනීමෙන් පසු චමරි කියා සිටියාය. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රාජස්තාන් රෝයල්ස් හිමිකාරීත්වය දරන බාබඩෝස් රෝයල්ස් පිලේ ක්‍රිකට් ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන්නේ ද රාජස්තාන් රෝයල් පිල භාරව සිටින සංගක්කාර විසිනි.

‘මට කැරිබියන් ප්‍රිමියර් ලීග් කණ්ඩායම් කිහිපයකින්ම ඇරියුම් ලැබුණා. ඒත් මම බාබඩෝස් පිල තෝරා ගත්තේ කුමාර් සංගක්කාර (සංගක්කාර අයියා) නිසයි.‘ ඇය කියා සිටියාය.

අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහර දුන් රයිඩර්ස් පිල ඕවර 20 අවසානයේ කඩුලු 8කට ලකුණු 93ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බාබඩෝස් පිල ඉලක්කය සපුරා ගත්තේ ඕවර 15ක් ඇතුළත කඩුලු 4ක් පමණක් වැය කරමිනි. පන්දු 47කට මුහුණ දුන් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනිය චමරි අතපත්තු හතරේ පහර 7කින් සිය ඉනිම වර්ණවත් කළාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT