Monday, April 21, 2025
Home » දින 2ක කාලයක් පන්දුවට පහරදීම අසීරු වුණා

දින 2ක කාලයක් පන්දුවට පහරදීම අසීරු වුණා

- කමිඳු අපට සම්පතක් - ධනංජය

by sachintha
September 3, 2024 1:56 am 0 comment

එංගලන්තයට එරෙහිව ලෝඩ්ස් පිටියේ පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන් සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 190ක පරාජයක් අත් විය. මේ සමඟ තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම 2-0ක් ලෙස ජය ගැනීමට එංගලන්තයට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 483ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිලට පෙරේදා සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ 292ක් පමණි. මේ තරගය වාර්තා අතරට එක් වූයේ ශ්‍රී ලංකා පිල ලෝඩ්ස් පිටියේදී වසර 33කට පසුව පරාජය වූ තරගය ලෙසිනි. අවසන් වරට 1991 වසරේදී ශ්‍රී ලංකාව ලෝඩ්ස් පිටියේදී එංගලන්තය හමුවේ ලකුණු 137කින් පරාජය වී තිබූ අතර, අනතුරුව පැවති තරග 5ම ජය පරාජයෙන් තොරව නිමාවට පත්ව තිබිණි.

පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පළමු ඉනිමට ලකුණු 427ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට රැස් කළ හැකි වූයේ පළමු ඉනිමේ ලකුණු 196ක් පමණි. ලකුණු 231ක වාසියක් සමඟ දෙවැනි ඉනිම ඇරඹූ එංගලන්ත පිල ලකුණු 251කට දැවී ගියේය. දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා අර්ධ ශතක රැස් කළත් පරාජයෙන් ගලවා ගැනීමට නොහැකි වුණි.

තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා පැවැසූවේ දින දෙකක කාලයක් පන්දුවට පහරදීමේ අසීරුතාව පිතිකරුවන්ට එල්ල වූ බවයි. “අපිට පන්දුවට පහර දෙන්න දවස් දෙකක් තිබුණා. සරලව පන්දුවට පහරදීමත් දිගු ඉනිමක් ගොඩනඟා ගැනීමත් යන පණිවිඩ දෙකම අපේ පිතිකරුවන්ට ලැබුණා. එංගලන්ත පිල හැම විටම ඔවුන්ගේ පිතිකරණයෙන් අපිව පීඩනයට පත් කළා. අපි ටිකක් පාලනය කළා. නමුත් එය එංගලන්තයේ ටෙස්ට් තරගයක් දිනන්න තරම් හොඳ නැහැ. මට මුලින්ම පන්දුවට පහර දෙන්න තිබුණා. නමුත් තණතීරුව මොන විදිහට හැසිරේවිද කියා බලා ඊළඟට පන්දුවට පහර දෙන්න අපට අවශ්‍ය වුණා“ ධනංජය පැවසීය.

“කමිඳු ක්‍රීඩා කළ අවසන් ඉනිම හැර සෑම ඉනිමකදීම විශිෂ්ට දක්ෂතා පෙන්වූවා. ඔහු අංක 7 පිතිකරු ලෙස පිටියට පැමිණ ඉතා ඉක්මනින් ලකුණු ලබා ගන්නවා. ඒක හොඳ තත්ත්වයක්. ඔහු අපට සම්පතක්. අපේ පිතිකරණය, පන්දු යැවීම හා පන්දු රැකීම යන අංශ තුනම මෙයට වඩා හොඳ විය යුතුයි” ධනංජය වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලිය ජයගත් එංගලන්තය ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය දක්වා ඉදිරියට යාමට සමත් විය. නායක බෙන් ස්ටෝක්ස්ගේ ආබාධයෙන් පසු අවසන් මොහොතේ නායකත්වයට පත් වූ ඔලී පෝප්ට මෙය මංගල තරගාවලි ජයග්‍රහණය විය.

“මම නායකයා වුණා කියලා මම මගේ සාමාන්‍ය පහරදීම් අඩු කරන්නේ නැහැ. මම හිතන්නේ මේ තරගය පුරාවටම ක්‍රීඩාව වඩා හොඳින් කළමනාකරණය කර ගත්තා කියලා.

දෙවැනි ඉනිම ටිකක් වෙනස් වුණා, මොකද අපි ඇත්තටම තරගය ඉදිරියට තල්ලු කරන්න උත්සාහ කළත් වෙනස් වුණා“ පෝප් පැවැසීය.

26 හැවිරිදි ඔලි පෝප් කියා සිටියේ තමා තෙවැනි ටෙස්ට් තරගයේදී පිතිකරණ අංශයෙන් යළිත් පිබිදෙන බවය. ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලියේ තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය මේ 6 වැනිදා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT