Wednesday, April 23, 2025
Home » නව බඳවා ගැනීම් නැතැයි කියන මාලිමාව අලුතින් ආයතන 15ක් හදන්න යෝජනා කිරීමම විහිළුවක්

නව බඳවා ගැනීම් නැතැයි කියන මාලිමාව අලුතින් ආයතන 15ක් හදන්න යෝජනා කිරීමම විහිළුවක්

-පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න

by sachintha
September 3, 2024 1:39 am 0 comment

රාජ්‍ය සේවය කප්පාදු කරමින්,නව බඳවා ගැනීම් නොකරන බව පවසන ජවිපෙ නව ආයතන 15ක් හදන්න යෝජනා කිරීම විහිළුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පැවැසුවාය.

කොළොන්නාව ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළාය.

“මේක හරියට ජේවීපී සහ එන්පීපී වගේ. වම් අත කියන්නේ කරන්නේ මොකක්ද කියලා දකුණු අත දන්නේ නැහැ යැයි රෝහිණි කවිරත්න පැවසුවාය.

ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ඔවුන්ට රාජ්‍ය පාලනය ගැන පොතේ දැනුම මිසක් කිසිම ප්‍රායෝගික දැනුමක් නැති බව ක්‍රියාවෙන්ම ඔප්පු කර තිබෙන බව ද ඇය කීවාය.

මන්ත්‍රීවරිය වැඩිදුරටත් මෙසේ ද පැවසූවාය.

“රටේ විදේශ විනිමය තිබෙන්නේ ඩොලර් බිලියන 5යි.ආයෝජනය කරන්න නොවෙයි,ණය,පොලිය ගෙවන්න මුදල් හොයාගන්න එක තමයි තිබෙන අභියෝගය. සිංගප්පූරුව, කටාර්, සෞදිය, ඩුබායි වගේ රටවල්වල අතිරික්ත ධනය විදේශයන්හි ආයෝජනය කරන්න හදා තිබෙන ව්‍යුහය ලංකාවට ගේනවා. අපට ණය දෙන චීනයේ, කොරියාවේ ආනයන අපනයන බැංකුව වගේ (එක්සිම් බැංකුවක්) හදනවාලු. මේක තමයි නියම කෑල්ල. අපි චීනයේ, ජපානයේ, ඉන්දියාවේ බැංකුවලට යනවා ණය ගන්න. මූල ධනයක් නැතිව බැංකු හදන්න පුළුවන් ද?

හැම කිලෝ මීටර් 2කට දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් හදන්න ලංකාවේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන කීයක් හදන්න ඕනෑ ද? දැනටමත් ලංකාවේ තිබුණ දිවා සුරැකුම් මධ්‍යස්ථාන දරුවෝ නැතිව වැසී යනවා. හැම කිලෝ මීටර් 3කට පාසලක් හදන්න නම් ලංකාවේ අලුතෙන් පාසල් කීයක් හදන්න අවශ්‍ය ද? ලංකාවේ ජනගහනය අඩු වෙමින් යනවා. මිය යන සහ විදේශ ගතවන ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් තමයි අලුත් දරු උපත් සිදු වෙන්නේ. මේ හදන පාසල්වලට අලුතින් දරුවෝ හදන ව්‍යාපෘතියකුත් හදන්න වෙනවා යැයිද පැවසුවාය.

නුවන් කොඩිකාර සහ සුභාෂිණි සේනානයක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT