Monday, April 21, 2025
Home » “තිස්පන් ලක්ෂයක රැකියා සුරැකි ත්‍රෛපාර්ශ්වික එකඟතාව” කෘතිය ජනගත වෙයි

“තිස්පන් ලක්ෂයක රැකියා සුරැකි ත්‍රෛපාර්ශ්වික එකඟතාව” කෘතිය ජනගත වෙයි

by sachintha
September 3, 2024 2:00 am 0 comment

“තිස්පන්ලක්ෂයක රැකියා සුරැකි ත්‍රෛපාර්ශවික එකඟතාවය” ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ විසින් රචනා කරන ලද්දකි. කොවිඩ් සමයේ මෙරට පෞද්ගලික අංශයේ රැකියා ලක්ෂ 35ක් තර්ජනයට ලක් වූ අවස්ථාවේ වෘත්තීය සමිති, හාම්පුතුන්, කම්කරු අමාත්‍යංශය එක්ව ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් හරහා ඒ සියලු රැකියා සුරක්ෂිත කළ ඓතිහාසික ක්‍රියාදාමය මෙහි ඇතුළත් කර ඇත. මෙය ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහගේ පර්යේෂණාත්මක අධ්‍යයනයක ප්‍රතිඵලයකි. පසුගිය දිනෙක බත්තරමුල්ලේ, පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ශ්‍රවණාගාරයේදී එළිදැක් වූ මෙහි පළමු පොත පිළිගැන්වූයේ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා වෙතටය. ප්‍රධාන දේශනය කම්කරු අමාත්‍යංශයේ හිටපු ලේකම් මහින්ද මඩිහහේවා මහතා විසින් පවත්වන ලදි.

ශ්‍රමය, පරිපාලනය, නිෂ්පාදනය ආදී ආර්ථික සාධක මෙන්ම කාර්මික සාමය, කම්කරු නීතිය ආදී විෂයයන් අධ්‍යයනය කරන්නකුට මේ කෘතියෙන් හෙළිදරව් කරන නිර්මාණාත්මක කාර්යභාරය, අලුත් ආදර්ශය අතිශය ප්‍රයෝජනවත්ය. ශ්‍රමිකයා සහ ව්‍යාපාරිකයා එක්ව ආර්ථිකය ශක්තිමත් කිරීමට මේ “ත්‍රෛපාර්ශ්වික ගිවිසුම” ඉවහල් වූ අකාරය සහ එහි ඇති සර්වකාලීන ප්‍රයෝගිකත්වය මෙයින් ඉතා හොඳින් පැහැදිලි කෙරේ.

රට වසා දමා තිබූ පසුබිමක,මෙරට කම්කරු ඇමැතිවරයා වූ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා, සියලු වෘත්තීය සමිති සහ හාම්පුතුන්ගේ සම්මේලනය (ලංකා සේව්‍ය සම්මේලනය) කැඳවා ඇඳිරි නීතිය මධ්‍යයේ අඛණ්ඩව කළ සාකච්ඡාවල විස්තර සහ ඒ සඳහා, අන්තර්ජාතික කම්කරු සංවිධානය (ILO) ඇතුළු අන්තර්ජාතික ප්‍රජාව දුන් සහයෝගය මෙන්ම ඔවුන්ගේ ඇගයීම පිළිබඳව ද මෙහි කරුණු පෙළගස්වා ඇත.වැදගත් දේ වන්නේ 2020 වර්ෂයේ මේ ත්‍රෛපාර්ශ්වික ගිවිසුම උදෙසා වන සාකච්ඡාවලට සජීවීව දායක වූ වෘත්තීය සමිති නායකයන්, හාම්පුතුන්ගේ සම්මේලනයේ ප්‍රධානීන්, කම්කරු අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන්ගේ සම්මුඛ සාකච්ඡා කිහිපයක් ද, කෘතියට අන්තර්ගතවීමය. මෙය දන්නා කතාවක් යළි කීමක් නොව, සැඟව ගිය ඓතිහාසික සිදුවීමක් කරළිය මත තැබීමකි.

එකල ශ්‍රී ලංකාවේ ලෝකයේ තත්ත්වය සංඛ්‍යාලේඛන මූලාශ්‍ර උපුටමින් කරුණු ඉදිරිපත් කරන කතුවරයා, මේ අග්‍රගණ්‍ය ගිවිසුම මෙරට පමණක් නොව ලෝකයට මෙවැනි අත්දැකීමක් වූ පළමු අවස්ථාව බව පවසයි. අසල්වැසි ඉන්දියාවේ පවා දසලක්ෂ ගණනින් රැකියා අහිමි වෙද්දී මෙරට පෞද්ගලික අංශයේ කිසිම රැකියාවක් අහිමිවන්න නොදී රැකගත් ඒ ඓතිහාසික ගිවිසුමෙන් ශ්‍රී ලංකාව ලෝකයට දුන් සහයෝගිතාවයේ අලුත් ආදර්ශය වර්තමානයට මෙන්ම අනාගතය දැනගන්න සැලැස්වීම කෘතියේ අරමුණ බව පෙනේ. සාමාන්‍යයෙන් විෂය නොවන කාර්මික සබඳතාවයේ යහපත් භාවිතය පිළිබඳ ලියවුණු මේ පර්යේෂණ ග්‍රන්ථය, වැඩ ලෝකයේ සියලු හවුල්කරුවන්ට මහඟු සම්පතක් ලෙස සැලකිය හැකිය. මෙය දෙස රැස ප්‍රකාශනයකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT