මේ වන විට ඉතා තීරණාත්මක ජනාධිපතිවරණයක් එළඹ තිබේ. අප රටේ දේශපාලන ස්ථාවරත්වය තහවුරු කොට ආර්ථික ස්ථාවරත්වය ළඟා කර ගැනීම පිළිබඳ මාතෘකාව මැතිවරණය වේදිකාවල රැව් පිළිරැව් දෙයි.
දේශපාලනඥයින්ට පමණක් රටක් නිවැරදි දිශාවට රැගෙන යා නොහැකිය. ඒ සඳහා කාර්යක්ෂම, පුළුල්, විධිමත් නව ලොවට ගැළපෙන රාජ්‍ය සේවාවක් පැවැත්විය යුතුය. ඒ අනුව රාජ්‍ය සේවාවේ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ ගැන ද මැතිවරණ වේදිකාවල කථිකා කෙරේ. ඊට ඌණපූර්ණයක් ලෙස මෙම ලිපිය සකස් කෙරේ.
ජාතික අවශ්‍යතාවක් ලෙස සලකා ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සහ විද්‍යාත්මක කාර්යසාධන ඇගයීමේ ක්‍රමයක් සකස්කොට රාජ්‍ය අංශයේ පරිපාලන ප්‍රතිසංවිධානයක් වහාම හඳුන්වාදිය යුතුය.
එය විශ්‍රාමික ශ්‍රී ලංකා රාජ්‍ය විධායක නිලධාරීන්ගේ සංගමයේ අදහසය.
එළඹෙන මැතිවරණයේදී බලයට පත්වන නායකයන් විසින් ඉතා කඩිනමින් අවධානය යොමු කොට රාජ්‍ය අංශයේ සිදුකළ යුතු වෙනස්කම් සහ ජාතික ප්‍රමුඛතා මැයෙන් මාධ්‍යයට කරුණු දක්වමින් එම සංගමය මේ බව කියා සිටී. නිදහස ලබා ගැනීමෙන් පසු ශ්‍රී ලංකාව පාලනය කළ සෑම රජයක්ම තම පක්ෂය, එහි පාට, පාක්ෂිකයන්, එළඹෙන මැතිවරණ ජයග්‍රහණ ප්‍රමුඛකොට කටයුතු කළා විනා, රටේ ආර්ථික හා සමාජීය දියුණුව, ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම වැනි ජාතික ප්‍රමුඛතා කෙරෙහි සැලකිල්ලකින් කටයුතු කළ බවක් තිබේද? නැද්ද? යන්න ගැන සමාජ කතිකාවක් මතුව ඇත.
බොහෝවිට තම රාජ්‍ය බලය තහවුරු කරගැනීමේ අරමුණ පෙරදැරි කරෙගන කටයුතු කර ඇති බව කැපී පෙනේ.
1977න් පසුව මෙම තත්තවය මනාව පිළිබිඹු වේ. රටේ කෘෂිකාර්මික, කර්මාන්ත, සෞඛ්‍ය, අධ්‍යාපනය, ප්‍රවාහනය, වාරිමාර්ග, විදුලිබලය, ජල සම්පාදනය, වැනි ක්ෂේත්‍ර මෙන්ම විශේෂයෙන්ම රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රය අද ඉතාමත් කනගාටුදායක තත්ත්වයට පත්ව ඇති බව නොරහසකි. රටේ ආර්ථික ප්‍රතිපත්ති හා රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ප්‍රමුඛ කොට ජාතික ආරක්ෂාව සහ නීතිය හා සාමය යන ක්ෂේත්‍ර ඉතාම දුර්වල අකාර්යක්ෂම අංශ බවට පත්ව ඇත.
මෙම අංශ භාර ඇමැතිවරුන්ටත් වඩා අදාළ අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතනවලට පත් වූයේ අදාළ ක්ෂේත්‍ර පිළිබඳ සුදුසුකම්, පළපුරුද්ද ඇති දක්ෂ නිලධාරීන් වෙනුවට දේශපාලන ගැතිභාවය පමණක් ඇති බොහෝවිට යල් පැනගිය දුර්වල රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන්ය. මෙම බොහොමයක් නිලධාරීන් තම ඇමැතිවරයාගෙ ඕනෑ එපාකම් ඉටු කිරීමටත්, ඔවුන් සතුටු කරමින් තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා ද ඔවුන්ගේ පිහිටෙන් කර ගැනීමටත් කටයුතු කර ඇති බව පෙනේ. ඒ නිසාම නිදහසින් පසු රටේ සියලුම ක්ෂේත්‍ර පරිහානියට පත්වුවා විනා ප්‍රගතියක් අත්කරගත් බවට අපට ආඩම්බර විය හැකි ක්ෂේත්‍රයක් නැත.
මෙම කනගාටුදායක තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මක වූවොත් අපට ඉදිරි ශතවර්ෂය ඇතුළතව ශ්‍රී ලංකාවට ආර්ථික සහ සමාජීය දියුණුවක් ලබාගත නොහැකි වනු ඇත. ඒ නිසාම බලයට එන නායකයින් කවුරු වුවත් දේශපාලන පක්ෂය කුමක් වුවත් මෙම සියලු රාජ්‍ය ආයතනවලට කුසලතාවලින් පිරිපුන් නිලධාරීන් සේවා භේද, දේශපාලන භේද, ජාති හා ආගම් භේද නොතකා දක්ෂතාව මත පමණක් පත් කළ යුතුය.
නිදහසින් පසු දශක අටක් පමණ ගතවී ඇතත් රාජ්‍ය පරිපාලනය ප්‍රතිව්‍යුහගත කර නැත. රටේ අවශ්‍යතාවට සරිලන අයුරින් කාලයට මෙන්ම ගෝලීය අවශ්‍යතාවටත් ගැළපෙන ලෙස රාජ්‍ය පරිපාලනය ප්‍රතිසංවිධානය කළ යුතුමය. සෞඛ්‍ය අධ්‍යාපනය, කෘෂිකර්මය, කර්මාන්ත, ප්‍රවාහනය, සමාජ සුරක්ෂාව, රාජ්‍ය ආරක්ෂාව, නීතිය හා සාමය, පර්යේෂණ සහ සංවර්ධන, වැනි ක්ෂේත්‍ර මෙන්ම කලාව, සංස්කෘතිය, සිනමාව, යන ක්ෂේත්‍ර ද පරිහානියට පත්ව ඇත.
වෛද්‍යවරු, ඉංජිනේරුවන්, නීතිඥයින්, ගණකාධිකාරින් අප රට හැර විදේශවලට යන්නේ කැමැත්තට වඩා අදාළ අංශවලට මෙම වෘත්තිකයින් රටේ රඳවා ගැනීමට අසමත්වීම නිසාය. මෙම බොහෝ වෘත්තිකයින් ඉහළ පරිපාලකයන්ගේ තාඩන පීඩන හා අසාධාරණකම්වලට ලක්වීම නිසාම වෙනත් රටවලට ගොස් ඇත.
අද රාජ්‍ය සේවකයින් විවිධ සේවාවන්වලට බෙදී තම පෞද්ගලික සේවයේ අයිතිවාසිකම් දිනා ගැනීමට විනා රාජ්‍ය සේවයේ උන්නතියට කටයුතු කරන බවක් දිටිය හැකිද? අද දිනපතාම දකින වැඩවර්ජන, උද්ඝෝෂණ, අකුරට වැඩ කිරීම් දෙස බැලීමේදී මෙය පැහැදිලි වේ.
පරිපාලන සේවය ඇතුළු නොයෙක් සේවාවන් සඳහා විටින් විට තරගයකට මෙන් පවත්වන විවිධාකාර විභාග වෙනුවට ඉන්දියාවේ සිවිල් සේවය මෙන් එක තරග විභාගයක් පවත්වා එමඟින් තම දක්ෂතා, කුසලතා සහ සුදුසුකම් අනුව ගැළපෙන තනතුරුවලට පත්කිරීමේ ක්‍රමවේදයක් වහා හඳුන්වා දිය යුතුවේ.
රාජ්‍ය සේවයේ ඉතා අවංකව සේවය කරන නිලධාරීන් දූෂිත ඉහළ නිලධාරීන් යටතේ අද ඉතාම කනස්සල්ලට පත්ව ඇත. ආයතනවල දූෂිත නිලධාරීන් කොපමණ දූෂිත ක්‍රියා කලද තම මිතුරන් විනය කමිටුවලට
පත්කර එමඟින් ඔවුන් ලවා චුදිතයින් නැවත රැකියාවල පිහිටුවන අවස්ථා අපමණය. උසස් තනතුරුවලට පත් කරන්නේ මෙම ඉහළ දූෂිත නිලධාරීන්ගේ නිර්දේශය මත ජනාධිපති විසින් හෝ අමාත්‍ය මණ්ඩල සංදේශ මඟිනි. මොවුන් මෙම සංදේශ කියවන්නේවත් නැත. දේශපාලන සබඳතා මත ශ්‍රී ලංකා මහ බැංකුවේ හෝ පරිපාලන සේවයේ අදක්ෂ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරන නිලධාරීන්ය. ආර්ථිකය මෙහෙයවන කේන්ද්‍රීය ආයතනය ලෙස මෙම නිලධාරීන් තම ආයතනය මඟින් රටේ දියුණුවට කර ඇත්තේ කුමක්ද? රට මේ තරම් ණය කන්දරාවකට ගෙනයාමට මොවුන් එක එල්ලේ වගකිව යුතුවේ. නිතර නිතර පිටරට සවාරි යාමටත් එමඟින් තම පෞද්ගලික අවශ්‍යතා සපුරා ගැනීමටත් විදේශ විනිමයවලින් ගෙවන යැපුම් දීමනා උපරිමයෙන් ලබා ගැනීමටත් විශේෂයෙන් පසුගිය රජයන් කිහිපයෙහිම ලේකම්වරු සහ ඊට පහළ නිලධාරීන් කටයුතු කර ඇත.
ආර්ථිකයේ විවිධ ක්ෂේත්‍ර පිළිබඳ ඔවුන්ගේ දැනුම කුමක්ද? ඉතා සීමිත පරාසයක දැනුම සහ පළපුරුද්ද ඇති ඉතා ඉහළ වැටුප් ඇතුළු සියලු අනිකුත් රාජ්‍ය සේවයේ වරප්‍රසාද බුක්ති විඳින මෙම නිලධාරීන් රටට කර ඇති සේවය කුමක්ද?
සමහර නිලධාරීන්ට දෛනිකව කළ යුතු කිසිම රාජකාරියක් නැති බව ඔවුන්ම පිළිගනී. මෙවැනි නිලධාරීන්ට භාර දී ඇති මහා භාණ්ඩාගාරයෙන් මීට වැඩි යමක් බලා පොරොත්තු විය හැකිද?
අද රාජ්‍ය සේවයේ සේවාවන් අතර ඉතා දැවන්ත වැටුප් විෂමතා ඇතිකර ඇත.
සමාන සුදුසුකම් ලබා රාජ්‍ය සේවයට බැඳෙන නිලධාරීන් සහ මහ බැංකුව ඇතුළු රාජ්‍ය බැංකුවලට බැඳෙන නිලධාරීන් අතර අහසට පොළව ලෙස වැටුප් විෂමතාව පවතී. එසේම කිසිම රාජ්‍ය ආයතනයක හෝ රාජ්‍ය බැංකුවල කාර්යසාධනය ඇගයීමේ ක්‍රම ක්‍රියාත්මක නොවේ.
මේ නිසා දුර්වල නිලධාරීන්ට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ඇති කුමක් හෝ සබඳතාවක් මත උසස්වීම් සහ වෙනත් වරප්‍රසාද ලබාගත හැකි ක්‍රමයක් ක්‍රියාත්මකවේ.
සැබෑ දක්ෂයන් මේනිසා කලකිරීමට පත්ව ඇත. මේ නිසා ඉතා හදිසි ජාතික අවශ්‍යතාවක් ලෙස ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සහ විද්‍යාත්මක කාර්යසාධනය ඇගයීමේ ක්‍රමයක් ඉහත සඳහන් කළ පරිදි ගෙන එන රාජ්‍ය පරිපාලන ප්‍රතිසංවිධානයත් සමඟ වහා හඳුන්වා දිය යුතුව ඇත.
ජයසිරි මුණසිංහ