Home » ජනාධිපති අපේක්ෂකයන් රටට බරක්ද?

ජනාධිපති අපේක්ෂකයන් රටට බරක්ද?

by sachintha
September 3, 2024 2:12 am 0 comment

ඉහළ යන සෑම අපේක්ෂකයකුටම යම් වියදමක් දැරීමට රජයට සිදු වන අතර, එය එක් එක් පැතිකඩ ඔස්සේ ගණනය කළ හැකිය. අපේක්ෂකයන් ඉහළ යද්දී ඡන්ද පත්‍රිකාව දීර්ඝ වෙයි. ඉන් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට යන වියදම මෙන්ම කඩදාසි සඳහා යන වියදම ද ඉහළ යයි. එසේම මෙවර මැතිවරණ කොමිසම සතුව පවතින ලී ඡන්ද පෙට්ටිවලට අමතරව කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි ද භාවිත කරන බැවින් ඒ සඳහා ද විශාල වියදමක් දැරීමට සිදු වනු ඇත.

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගැනීම සඳහා පැවැත්වෙන 2024 ජනාධිපතිවරණයට ඇත්තේ තවත් සති තුනකටත් වඩා අඩු කාලයකි. විවිධාකාරයේ මතිමතාන්තර, යෝජනා, චෝදනා, අපේක්ෂාවන් ඉදිරිපත් කරමින් මෙවරත් අපේක්ෂකයන් කිහිපදෙනකුම කරට කර තියුණු සටනක නිරත වන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රීය සමාජවාදී ජනරජයේ 9 වැනි ජනාධිපතිවරයා ලෙසින් අභිෂේක ලැබීමටය. ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා 1978 ව්‍යවස්ථාවෙන් පත් කෙරුණු අතර, ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීමේ අරමුණින් පළමු වරට අප රට තුළ ජනාධිපතිවරණයක් පවත්වන්නේ 1982 වසරේදීය. ඉන් අනතුරුව 1988, 1994, 1999, 2005, 2010, 2015 හා 2019 යන වසරවල පිළිවෙළින් ජනාධිපතිවරණ පවත්වා ජනාධිපතිවරු තෝරා පත්කර ගනු ලැබිණ. මෙම සියලු මැතිවරණවලදී අපේක්ෂකයන් දෙදෙනකුට වඩා වැඩියෙන් තරග වැද තිබිණ. ජනාධිපතිවරණවල ආරම්භක යුගයට සාපේක්ෂව මේ යුගයේ අවසන් වතාවන්හි පැවැති ජනාධිපතිවරණ සඳහා අපේක්ෂකයන් වැඩි වශයෙන් ඉදිරිපත් වීම තුළින් සමාජය තුළ මේ සම්බන්ධයෙන් වන කතාබහ ද වැඩි වන්නට පටන්ගෙන තිබේ. එක් තැනක අපේක්ෂකයන් ගණන සම්බන්ධයෙනුත්, තවත් තැනක අපේක්ෂකයන් වෙනුවෙන් දැරීමට සිදු වන වියදම සම්බන්ධයෙනුත්, තවත් තැනක ඡන්ද බෙදී යෑම තුළින් සිදු වන ඡන්ද අපතේයෑම සම්බන්ධයෙනුත් කසුකුසු මතුවන්නට විය.

මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 39ක්

මෙවර පැවැත්වෙන 2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයන් ගණන 39කි. එය ජනාධිපතිවරණ ඉතිහාසය තුළ වැඩිම අපේක්ෂකයන් ගණනක් ඉදිරිපත් වූ මෙන්ම දිගින් වැඩිම ඡන්ද පත්‍රිකාවට හිමිකම් කියන ජනාධිපතිවරණය ලෙසින් ද ඉතිහාසගතව තිබේ. පෙර සඳහන් කළ පරිදි ශ්‍රී ලංකාවේ පැවැති පළමු ජනාධිපතිවරණය වූ 1982 ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 6 දෙනෙක් ඉදිරිපත්ව සිටියහ. නමුත් දෙවැනි වර පැවැති 1988 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ අපේක්ෂකයන් තිදෙනකු පමණි. 2024 වැඩිම අපේක්ෂකයන් සහිත ජනාධිපතිවරණය වෙද්දී 1988 අඩුම අපේක්ෂකයන් සහිත ජනාධිපතිවරණය ලෙසින් ඒ අනුව ඉතිහාසගත විය. කෙසේ වෙතත් 1988 ජනාධිපතිවරණයේදී යම් අඩුවක් පෙන්නුම් කළද ඉන් අනතුරුව පැවැති ජනාධිපතිවරණවලදී ක්‍රමක්‍රමයෙන් අපේක්ෂකයන්ගේ උනන්දුව ඉහළ යමින් විවිධ පක්ෂ නියෝජනය කරමින් මෙන්ම ස්වාධීනව ද ජනාධිපති අපේක්ෂකයෝ ඉදිරිපත් වූහ. ඒ අනුව, එතෙක් පිළිගත් දේශපාලන පක්ෂවලින් පමණක් අපේක්ෂකයන් ඉදිරිපත් වීමේ ක්‍රමවේදයට තිත තබමින් 1994 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයන් දෙදෙනකු ද සමඟ අපේක්ෂකයන් 13 දෙනෙක් තරග වැදුණහ. ඊළඟට පැවැති 2005 ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටියේ ද අපේක්ෂකයන් 13 දෙනෙකි. මෙසේ පැවැති ජනාධිපතිවරණ අපේක්ෂක උණුසුමේ සැලකිය යුතු ඉහළ යෑමක් 2010 ජනාධිපතිවරණයේදී වාර්තා කරමින් එම තරගයට අපේක්ෂකයන් 22ක් ඉදිරිපත්ව සිටිනු දැක ගත හැකි විය. නමුත් 2015දී එය අපේක්ෂකයන් 19 දක්වා අඩු වූ ආකාරයක් පෙන්නුම් කර තිබේ. මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 39ක් ඉදිරිපත් වෙද්දී 2019 ජනාධිපතිවරණය සඳහා ද ඊට සමීපව යමින් අපේක්ෂකයන් 35ක් තරග වැදී ඇති අයුරු නීරීක්ෂණය වෙයි. කෙසේ වෙතත් මෙවර අපේක්ෂකයන් 40ක් ඇප තැන්පත් කර තිබුණ ද නාම යෝජනා භාර දී තිබුණේ අපේක්ෂකයන් 39 දෙනකු පමණි.

ඡන්දදායකයන් අමාරුවේ දමන ඡන්ද පත්‍රිකාව

අපේක්ෂකයන් ගණන ඉහළ යන තරමට මැතිවරණ කොමිසමට ඡන්ද ජත්‍රිකාව ද ක්‍රම ක්‍රමයෙන් දීර්ඝ කිරීමට සිදු වේ. අවසාන වරට වැඩිම අපේක්ෂකයන් ඉදිරිපත්ව සිටි ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකාවේ දිග අඩි 2ක් පමණ විය. එය ඉතිහාසයේ දීර්ඝතම ඡන්ද පත්‍රිකාව ලෙසින් ද නම් කෙරිණ. කෙසේ වෙතත් මෙවර තවත් අපේක්ෂකයන් සිව්දෙනකුගේ නම් ඇතුළත් කළ යුතුව ඇති බැවින් තවත් යම්කිසි දිග ප්‍රමාණයකින් යුක්තව මෙවර ඡන්ද පත්‍රිකාව මුද්‍රණය කිරීමටත්, ඡන්ද දායකයන්ට ඒ දීර්ඝ අපේක්ෂක ලැයිස්තුවේ පිහිනා යමින් තම මනාපය සලකුණු කරන අපේක්ෂකයා සොයා ගැනීමටත් සිදුවනු ඇත. එමෙන්ම අපේක්ෂකයන්ට ද තමන්ගේ නම ලැයිස්තුවේ තිබෙන්නේ කීවැනියට දැයි සඳහන් කරමින්ම තම මැතිවරණ ප්‍රචාරණ කටයුතු කිරීමට ද සිදුවනු ඇත.

අපේක්ෂකයන්ට සාපේක්ෂව ඉහළ යන වියදම හා සංකීර්ණත්වය

ඉහළ යන සෑම අපේක්ෂකයකුටම යම් වියදමක් දැරීමට රජයට සිදු වන අතර, එය එක් එක් පැතිකඩ ඔස්සේ ගණනය කළ හැකිය. අපේක්ෂකයන් ඉහළ යද්දී ඡන්ද පත්‍රිකාව දීර්ඝ වෙයි. ඉන් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට යන වියදම මෙන්ම කඩදාසි සඳහා යන වියදම ද ඉහළ යයි. එසේම මෙවර මැතිවරණ කොමිසම සතුව පවතින ලී ඡන්ද පෙට්ටිවලට අමතරව කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි ද භාවිත කරන බැවින් ඒ සඳහා ද විශාල වියදමක් දැරීමට සිදු වනු ඇත. මෙය මෙතෙක් වැඩිම අපේක්ෂකයන් පිරිසක් සිටි 2019 ජනාධිපතිවරණයේදී ද මතුවුණු සංකීර්ණ තත්ත්වයකි. මෙම චක්‍රය ක්‍රියාත්මක වෙද්දී ඊට සමගාමීව ඡන්ද පෙට්ටි ප්‍රමාණය ඉහළ යෑමත් ඒවා ප්‍රවාහනයට දැරීමට සිදු වන වියදම ඉහළ යෑමත්, ඒවා සඳහා යොදවන ආරක්ෂක නිලධාරීන් ප්‍රමාණය ඉහළ දැමීමට සිදු වීමත්, ඔවුන් සඳහා පහසුකම් සැපයීම ඇතුළු අනෙකුත් වියදම් දැරීමට සිදු වීමත්, ඡන්ද ගණන් කිරීමට ද වැඩි කාලයක් හා ශ්‍රමයක් වැය කිරීමට සිදු වීමත්, දෙතුන් වර නවා ඇති දීර්ඝ පත්‍රිකා යම්කිසි කාලයක් ගෙන දිග හැරීමටත්, ඒවා ‍ තෙවරක් ගණනය කිරීමටත් සිදු වීමෙන් කාලය අපතේ යෑමත් සිදු වීමත් අපේක්ෂකයන් ඉහළ යෑමට සමගාමීව සිදු වන කාරණාය. මෙම සියලු වියදම් ජනතාව වෙනුවෙන් සහන සැලසීමට යොදා ගත හැකිව තිබූ ඒවාය.

එමෙන්ම මෙයාකාරයට වැඩි අපේක්ෂකයන් පිරිසක් ඉදිරිපත් වීමේදී බොහෝදුරට කිසිඳු අපේක්ෂකයකුට සියයට 50ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ ද නැත. එනිසා දෙවැනි, තුන්වැනි මනාප ගණනය කිරීමට සිදු වන බැවින් ඒ සඳහා ද ඡන්ද රාජකාරිවල නියුතු නිලධාරීන්ට කාලය, ශ්‍රමය හා වියදම් දැරීමට සිදු වීම වැළැක්විය නොහැක. අපේක්ෂකයන් 35 දෙනකු ඉදිරිපත් වූ 2019 ජනාධිපතිවරණයේදී රුපියල් බිලියන 4.56ක මුදලක් වැය වී ඇතැයි වාර්තා සඳහන් කරයි. ඊට වැඩි අපේක්ෂකයන් පිරිසක් ඉදිරිපත්ව සිටින මෙවර 2024 ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා විසින් රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කරනු ලැබ තිබේ. මෙහිදී සැලකිය යුතු ආකාරයෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා වෙන් කිරීමට සිදුව ඇති මුදල ගිය වරට වඩා කිහිප ගුණයකින් ඉහළ ගොස් තිබේ. 2019දී පොලිස් හා විශේෂ කාර්ය බළකා ආරක්ෂකයන් 72,808ක් මැතිවරණ රාජකාරි සඳහා යොදවා තිබූ අතර, මෙවර එම ප්‍රමාණය ද ඉහළ දැමීමට සිදු වනු ඇත. එම ජනාධිපතිවරණයේ සමස්ත වියදමෙන් 52.62ක් වැටුප්, අතිකාල දීමනා හා ප්‍රවාහනය සඳහා වැය වී තිබුණු අතර, මෙවර පවතින තත්ත්වය මත එහිද කිහිප ගුණයක ඉහළ යෑමක් බලාපොරොත්තු විය යුතුය. තවද සෑම අපේක්ෂකයකුගේම නියෝජිතයන් ඡන්දපොළ මධ්‍යස්ථානවලට යෙදවීමට ඇති හැකියාව මත එම මධ්‍යස්ථානවල මෙවර මැතිවරණයේදී වැඩි තදබදයක් ඇති වීමද වැළැක්විය නොහැක.

ඇප බඳින සෑම අපේක්ෂකයකුට හිමි සමාන වරප්‍රසාද

මෙවර ජනාධිපතිවරණ අපේක්ෂක ලැයිස්තුව දෙස බැලීමේදී ඇතැම් අපේක්ෂකයන් කරන්නන් වාලේ ඇප තැන්පත් කරමින් අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව ඇති බව නිරීක්ෂණය වෙයි. ඒ කෙසේ වෙතත් මේ සෑම අපේක්ෂකයකුටම සමාන වියදමක් දැරීමටත්, සමාන අවස්ථාවන් හිමිකර දීමටත් රජය බැඳී සිටී. 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ පනතට අනුව ගාස්තු ගෙවීමකින් තොරව නීතියේ දක්වා ඇති සීමාවන්ට යටත්ව රජයේ මාධ්‍ය ආයතන දෙකක සිය ප්‍රචාරණ කටයුතු සිදු කිරීමට අපේක්ෂකයන්ට සමාන කාලයක් හිමි වේ. එමෙන්ම තැපැල්පතිවරයාගේ සීමාවන්ට යටත්ව ගාස්තු ගෙවීමකින් තොරව තම ජයග්‍රහණය වෙනුවෙන් දැනුම්වත් කිරීමේ ලේඛන ඡන්ද දායකයන් වෙත යෑවීමට ද අවස්ථාව උදාවේ. තවද ජනාධිපතිවරණ කාල සීමාවේ ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද හිමිවන්නේ සමාන අවස්ථාවකි. එම නිසා අපේක්ෂකයන් ඉහළ යන තරමට එම සියලු දේ සඳහා වැය වන මුදල් ප්‍රමාණය ද ඉහළ යනු ඇත.

අපේක්ෂකයන් කිහිපදෙනෙක් ආගිය අතක් නෑ

ජනාධිපතිවරණයට ඇප බඳිමින් මෙවර අපේක්ෂකයන් 39 දෙනකු ඉදිරිපත්ව සිටිය ද ජනාධිපතිවරණ සටනේ මේ වන විට සක්‍රියව කටයුතු කරමින් සිටින්නේ අපේක්ෂකයන් 15 දෙනකු පමණක් බව පෙනී යන කාරණයකි. මුළු අපේක්ෂකයන් අතරින් එක් අයකු ඇප බැඳීමෙන් සුළු කාලයකට පසු ස්වභාවික හේතුවකින් මරණයට පත්ව තිබූ අතර, තවත් අපේක්ෂකයන් තිදෙනකු පිළිබඳ කිසිඳු තොරතුරක් සොයා ගැනීමටවත් හැකියාවක් නැත. ඔවුන් තිදෙනා මැතිවරණ කොමිසමට ලබාදී ඇති දුරකතන අංකවලින් දෙදෙනකුගේ අංකවලට වෙනත් අය පිළිතුරු ලබා දෙන අතර, අනෙකා දුරකතනය විසන්ධි කරමින් නිහඬ පිළිවෙතක් අනුගමනය කරයි. එමෙන්ම සක්‍රිය 15 දෙනා හැරුනු කොට අනෙක් 23 දෙනාගෙන් 5 දෙනකු ෆේස්බුක්, වට්ස්ඇප් ඇතුළු කිසිඳු සමාජ මාධ්‍ය ජාලාවක් පරිහණය නොකරන්නන් වන බැවින් ඔවුන්ට තම මැතිවරණ ව්‍යාපාරය සඳහා පහසුවෙන් ප්‍රවිෂ්ට වීමේ පහසුම ක්‍රම ද අවහිර වී පවතී. තමන් නාමයෝජනා අත්සන් කොට ඇප බැඳ තිබුණ ද තමන් අපේක්ෂකයකු බව තම නිවැසියන්වත් නොදන්නා අපේක්ෂකයෝ ද මේ අතර සිටිති. මෙකී 15 දෙනා මැතිවරණ කොමිසමට අවශ්‍ය කර තිබෙන පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූපයවත් අඩුම තරමේ ලබා නොදීමට වග බලාගෙන සිටීම මත මෙවන් අපේක්ෂකයන්ට අවස්ථාව ලබා දීමෙන් රටේ මුදල්වලට සිදු වන හානිය සම්බන්ධයෙන් ඇත්තේ කනගාටුවකි. කෙසේ වෙතත් මොවුන් එසේ කටයුතු කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට ඔවුන්ට එරෙහිව කටයුතු කිරීමේ නීතිමය බලයක් නොමැති වුවද ජනාධිපතිවරණ කාලසීමාව තුළ ඔවුන් මුළුමනින්ම මුනිවත රකිමින් සැඟව සිටින්නේ නම් ඔවුන්ගේ නාම ලේඛන රටට ඉදිරිපත් කර එවන් පුද්ගලයන් හේතුවෙන් රටට සිදුව ඇති පාඩුව පෙන්නුම් කිරීමට හෝ කටයුතු කළ යුතුය.

දිගු අපේක්ෂක ලැයිස්තුව රටට බරක්

මේ ආකාරයෙන් අපේක්ෂකයන් වැඩි වන තරමට ඉහළ යන වියදමින් සෑම සතයක්ම දැරීමට සිදුවන්නේ ජනතා බදු මුදල්වලින් වීම අමතක නොකළ යුතුය. අතීතයේ දේශපාලන පක්ෂයකින් පමණක් ජනාධිපති අපේක්ෂකයන් ඉදිරිපත් වුවත්, දැන් ස්වාධීන අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට ඇති ඉඩකඩ මත සිදු කෙරෙන මෙම හානිය සම්බන්ධයෙන් වගකිවයුත්තෝ මින් ඉදිරියටවත් අවධානය යොමු කළ යුතුය. දේශපාලන පක්ෂ දියාරු වී ගොස් පුද්ගල චරිත ඉස්මතු වීම මත සිදු වන මෙම ක්‍රියාවලිය රටේ ආර්ථිකයට විශාල පාඩුවකි. මෙය අපේක්ෂකයකු තැන්පත් කළ යුතු ඇප මුදල යම් සැලකිය යුතු මට්ටමකින් ඉහළ දැමීමෙන් තරමක් අවම කර ගත හැකි වුවත් ඉන් එහා ගිය වාරණයක් මීට යෙදිය යුතු බව මෙවර අපේක්ෂක ලැයිතුව දෙස බැලීමේදී සිතෙනු ඇත. මක්නිසාදයත් විශේෂ රාමුවකින් විශේෂත්වයක් ඇති, ප්‍රතිවාදියාට තරගයක් දිය හැකි පුද්ගලයකු ඉදිරිපත් කර ජනාධිපතිවරණ සටන ක්‍රියාත්මක කරනවා වෙනුවට මෙසේ පඳුරකට ගැසූ විට විසි වන තරමට අපේක්ෂකයන්ට අවස්ථාව ලබාදීමෙන් රට තුළ පවතින ප්‍රජාතන්ත්‍රවාදයට ද ගැටලු මතු වීම වැළැක්විය නොහැකිය.

දැන් 9 වැනි විධායක ජනාධිපතිවරයා වෙනුවෙන් සිදුවන සටනේ අවසන් අඩියට පැමිණ සිටියි. 10 වැනි විධායක ජනාධිපතිවරයා තෝරන සටනේදීවත් රටට බරක් නොවන ආකාරයේ අපේක්ෂක ලැයිස්තුවක් ඉදිරිපත් කර, අපේක්ෂකයතු වීමට සැපිරිය යුතු අත්‍යවශ්‍ය කාරණා කිහිපයක් හෝ සඳහන් කර ‘ජනාධිපතිවරණ අපේක්ෂකයා’ නමැති නාමයට හෝ යම් ගරුත්වයක් හිමිවන පරිද්දෙන් එය සිදු කිරීමට වග බලා ගන්නවා නම් නිකරුණේ අපතේ යන විශාල ධනස්කන්ධයක් ජනතාව වෙනුවෙන් ඉතිරි කර ගත හැකි වනු ඇත.

චාමිකා මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT