Monday, April 21, 2025
Home » ජනපතිවරණයට ගම සැරසෙන හැටි

ජනපතිවරණයට ගම සැරසෙන හැටි

by sachintha
September 3, 2024 1:59 am 0 comment

ඡන්ද පොළ ආලෝකවත් කිරීම ග්‍රාම නිලධාරීන්ගේ මූලික වගකීමකි. එදා අදටත් වඩා ආලෝකය සැපයීම පිළිබඳ ගැටලු තිබිණි. අද මෙන් විදුලිය නැති එකල ආලෝකය සපයා ගැනීමට චිමිනි ලාම්පු, හදිසි ලාම්පු, හෝ පෙට්‍රල්මැක්ස් ලාම්පුවක් තිබිය යුතුය. අද වුවද දුර බැහැර ප්‍රදේශවල ඡන්ද පොළවල විදුලිය පහසුකම් නොමැති අවස්ථා තිබේ.

ජනාධිපති මැතිවරණයට තව ඇත්තේ සති තුනකටත් අඩු කාලයකි. ප්‍රචාරක ව්‍යාපාරය සැප්තැම්බර් 18 වැනිදා අවසන් වේ. එහෙත් මැතිවරණ ක්‍රියාවලියේ තීරණාත්මකම කාල සීමාව ආරම්භ වන්නේ ප්‍රචාරක ව්‍යාපාරයෙන් පසුව එළඹෙන මෙම කාලය තුළය. මෙම කාලය තුළ සියලු කාර්ය සහ බලතල පැවරෙන්නේ රජයේ නිලධාරීන්ටය. එම කාර්ය ප්‍රමාණය සුවිශේෂය. රජයේ නිලධාරීන් අතරින් විශාලම කාර්ය භාරය ඉටු කරනු ලබන්නේ ග්‍රාම නිලධාරීන් වෙතය. ඡන්ද පොළ සකස් කිරීම සහ ඡන්ද පොළ පිළිබඳ සියලු පහසුකම් සකස් කිරීම සඳහා වූ බලතල සහ වගකීම පැවරෙන්නේ ඔවුන් වෙතය. මෙම කාර්ය භාරය වගකීම් සහගත වීම පමණක් නොව ඒ වගකීම් අතර වගකීම මෙන්ම සුන්දර අත්දැකීම්ද දැකිය හැකිය.

මැතිවරණය යනු ගමකට සුවිශේෂ දිනයකි. අවුරුද්ද, නත්තල මෙන්ම ඡන්ද දවසේදීද ගම තුළ තිබෙන්නේ අමුතු ප්‍රබෝධයකි. ගමෙන් පිට සිටින පිරිස් ගමට එන්නේද ඡන්ද කාලයේදීය. ඒ නිසා ඡන්දය දවස යනු ගමේ අයට අමුතු දවසකි. එදිනට ගමට ඡන්දය භාවිත කරන්නට පැමිණෙන පිරිස් මෙන්ම ඡන්ද පොළට පැමිණෙන රාජකාරි කිරීමට පැමිණෙන අමුත්තන් පිරිසක් ද සිටිති. ඔවුන් ඡන්ද පොළ නිලධාරීන්ය. ඔවුනට අවශ්‍ය සියලු පහසුකම් සැපයීම, ග්‍රාම නිලධාරීවරයාට හෝ ග්‍රාම නිලධාරිනිය වෙත පැවරි තිබෙන නිල රාජකාරි වගකීමකි. මෙය නිලධාරීන් වෙත පැවරුණ නිල රාජකාරියක් වුවද එයට නිල මට්ටම ඉක්මවා යන සුහඳත්වය පිළිබඳ ගනුදෙනුවක්ද තිබේ. මැතිවරණ නිලධාරීන් වෙත අවශ්‍ය සත්කාර ලබාදීම ග්‍රාම නිලධාරීන් සතු වගකීම් අතර විවිධ රසවත් අත්දැකීම් මෙන්ම රසකතා ද තිබේ. තවත් විටෙක බිහිසුණු අත්දැකීම් ද නැතිවා නොවේ. කලබලකාරි තත්ත්වයකදී ඇතිවන බිහිසුණු මතකද පැරැණි ග්‍රාම නිලධාරීන් වෙත තිබේ. ග්‍රාම නිලධාරීන්, ඡන්ද පොළ අතර බැඳීම ගසට පොත්ත මෙන් එකට ගමන් කරන්නකි.

ඡන්ද පොළ ආලෝකවත් කිරීම ග්‍රාම නිලධාරීන්ගේ මූලික වගකීමකි. එදා අදටත් වඩා ආලෝකය සැපයීම පිළිබඳ ගැටලු තිබිණි. අද මෙන් විදුලිය නැති එකල ආලෝකය සපයා ගැනීමට චිමිනි ලාම්පු, හදිසි ලාම්පු, හෝ පෙට්‍රල්මැක්ස් ලාම්පුවක් තිබිය යුතුය. අද වුවද දුර බැහැර ප්‍රදේශවල ඡන්ද පොළවල විදුලිය පහසුකම් නොමැති අවස්ථා තිබේ. මැතිවරණය තිබෙන දිනයට දින දෙකකට පෙර ඡන්ද පොළ පිහිටි ප්‍රදේශය පිරිසුදු කිරීමද ග්‍රාම නිලධාරීවරයාගේ වගකීමක් වන අතර ඒ කාර්ය සඳහා යොදවනු ලබන කම්කරුවන් වෙත මූල්‍ය පහසුකම් සැපයීම කළ හැකිය.

ලී බඩු එක් රැස් කර ඡන්ද පොළ නිර්මාණය කිරීම කළ යුතු අතර එහිදී ඡන්ද පොළ ප්‍රධාන නිලධාරියාගේ අවශ්‍යතාව අනුව ඡන්ද පොළ සකස් කළ යුතු අතර එහිදී ප්‍රධාන ඡන්ද නිලධාරියා වෙත ඡන්ද පොළ තුළ සියලු ස්ථාන නිරීක්ෂණය කළ හැකි ලෙස ඡන්ද පොළ සැකැස්ම නිර්මාණය කළ යුතුය.

මෙහිදී ඡන්ද පොළට පැමිණෙන නිලධාරීන් වෙත අවශ්‍ය ආහාර පාන ආදිය සැපයීම කළ යුතුය. ඡන්ද පොළ නිලධාරීන් මැතිවරණයට පෙර දින සවස පැමිණෙන අතර එදින රාත්‍රීයේදි අවශ්‍ය කරනු ලබන රාත්‍රී ආහාර ලබාදීම සිදු කරනු ලබන අතර ඇතිවන සුහඳත්වය අනුව වෙනත් පාන වර්ගද නිලධාරීන් වෙත ලැබෙන අවස්ථාද තිබේ. එහෙත් එය නිල මට්ටමේ දේ නොවන අතර සුහඳත්වය මත ලබා දෙන දේය.

රාත්‍රී නවාතැන් කටයුතු සඳහා අවශ්‍ය කොට්ට පැදුරු ආදිය ලබාදීමද සිදු කරනු ලබන අතර ඒ සඳහා ගමේ අයගේද සහාය ලැබේ. තවද ප්‍රධාන ඡන්ද පොළ නිලධාරියා වෙත ඡන්ද පෙට්ටිය සුරක්ෂිතව තබා ගැනීමට සහ ඡන්ද පත්‍රිකා සුරක්ෂිතව තබා ගැනීමට දොර අගුළු දැමිය හැකි කාමරයක්ද තිබිය යුතුය. එය ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීම පිළිබඳව තිබෙන ක්‍රමවේදයේ මූලික අවශ්‍යතාවක් ලෙස සඳහන් කළ හැකිය.

රාත්‍රී ආහාරයෙන් පසු උදෑසන ආහාරය සැපයීමද ග්‍රාම නිලධාරිවරයාගේ හෝ ග්‍රාම නිලධාරියගේ රාජකාරීමය වගකීමකි. ඡන්ද විමසීම උදෑසන හතට ආරම්භවන බැවින් උදෑසන ආහාර සැපයීම කළ යුතුය. දහවල් ආහාර සැපයීම මෙන්ම උදෑසන සහ සවස තේ පානය ද ලබාදීම ග්‍රාම නිලධාරීන්ගේ වගකීමකි. මෙහිදී තේ පානය වැනි අවස්ථාවල එම සංග්‍රහ කටයුතු පක්ෂ ඡන්ද පොළ නියෝජිතයන් වෙත පවා සංග්‍රහ කටයුතු කරනු ලබයි.

ඡන්ද දිනයේදි ග්‍රාම නිලධාරීවරයා හට රාජකාරී කටයුතු අතර තවත් සුවිශේෂ කටයුත්තක් වන්නේ නිලධාරියා ඡන්ද පොළ අසල ස්ථානයක රැඳී සිටිය යුතු වීමය. එහෙන්ම ඡන්ද පොළ කිහිපයක් නම් නිලධාරියාගේ සුදුසුකම් ලත් නියෝජිතයකු පත් කිරීමටද අවස්ථාව තිබේ.

ඡන්දයට දින දෙකකට පෙර ආරම්භවන ග්‍රාම නිලධාරීවරයාගේ මැතිවරණ රාජකාරිය අවසාන වන්නේ ඡන්ද පෙට්ටිය ඡන්ද පොළෙන් පිට කිරීමෙන් අනතුරුවය. එහිදී ඡන්දය නිසි ලෙස පැවැතියේ නම් එය නිසි ලෙස පැවැත්වූ බවට ප්‍රාදේශීය ලේකම්වරයා වෙත යොමු කළ යුතුය.

සැබැවින්ම ග්‍රාම නිලධාරීවරයා වෙත ගමේ ඡන්දය පැවැත්වීම පිළිබඳව තිබෙන්නේ විශාල වගකීමකි. එම වගකීම මැතිවරණ කොමිෂන් සභාව විසින් නිල වශයෙන් පැවරූ වගකීමකි.

ජනාධිපතිවරණයේදී හෝ මහමැතිවරණයේදී මෙවැනි වගකීමක් ග්‍රාම නිලධාරීන් වෙත පැවරුණද ග්‍රාමීය කොට්ඨාස මට්ටමෙන් පවත්වනු ලබන පළාත් පාලන මැතිවරණයේදී ග්‍රාම නිලධාරීවරයාගේ වගකීම සවස හතරට ඡන්ද විමසීම අවසාන වුවද පළාත් පාලන ඡන්දයේදී තත්ත්වය එයට වඩා වෙනස්ය. ඡන්ද පොළ තුළම ඡන්දය ගණන් කිරීම සිදු කරන බැවින් එම ඡන්ද ගණන් කිරීම් අවසාන වන තෙක් ග්‍රාම නිලධාරීවරයාගේ වගකීමද අවසාන නොවේ. එවැනි අවස්ථාවකදී ග්‍රාම නිලධාරීවරයාටද රාත්‍රී නවය හෝ දහය ඉක්මවනතුරු ඡන්ද පොළ අසල රැඳී සිටීමට සිදුවේ. ඇතැම් අවස්ථාවල අසල්වැසි කුඩා ඡන්ද පොළවල ඡන්ද ද එකම ස්ථානයකට ගණන් කිරීම සඳහා රැගෙන ඒම සිදු කරනු ලබයි.

ඡන්ද පොළ කටයුතු නිසි ලෙස ඉටු කිරීම සිදු කළ පසු ඡන්ද පොළ ස්ථාන භාර නිලධාරියා විසින් ග්‍රාම නිලධාරීන් වෙත අවශ්‍ය කරනු ලබන අනුමත දීමනා ලබා දීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබා දෙනු ලබයි. එහිදි ග්‍රාම නිලධාරිවරයා වෙත සහාය ලබා දුන් කම්කරුවන් සහ නියෝජිතයන් පිළිබඳ විස්තරයක්ද ග්‍රාම නිලධාරීවරයා විසින් ඡන්ද පොළ නිලධාරියා වෙත භාරදීම සිදු කරනු ලබයි.

මෙහිදී විවිධ අවශ්‍යතා සඳහා වූ මුදල් ප්‍රමාණ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිර්දේශ කර තිබේ. ඒ සඳහා වූ උදාහරණ කිහිපයක් පමණක් දැක්විය හැකිය. එහිදී ඡන්ද පොළ පෝලිම් ඇති කිරීම සඳහා රුපියල් දෙසීයක් පමණ ගෙවනු ලබන අතර විදුලි ආලෝක සැපයීම සඳහා රුපියල් දෙදහසක මුදලක් ගෙවීම සිදු කරනු ලබයි. මැතිවරණ කාර්ය මණ්ඩලය සඳහා පැදුරු කොට්ට ලබාදීම සඳහා රුපියල් දහසක මුදලක් ලබා දෙනු ලබයි. ඡන්ද පොළ සකස් කිරීම සඳහා රුපියල් දහසක්, තාවකාලික වැසිකිළි සඳහා රුපියල් හාරදහසක මුදලක් ගෙවීම සිදු කරනු ලබයි. ඡන්ද පොළ නිලධාරීන් වෙත ලබා දෙනු ලබන ආහාර පාන සඳහා දීමනා ලබා දීමද සිදු කරනු ලබයි.

මේ අප සඳහන් කළේ මෙරට මැතිවරණ ක්‍රියාවලියේ සක්‍රීයවම කොටසවන ගමේ ඡන්ද පොළ සහ එහි මූලික වගකීම දරන ග්‍රාම නිලධාරීන්ගේ කාර්ය පිළිබඳ විමසා බැළීමක් සිදු කිරීමටය. සැබැවින්ම මෙරට මැතිවරණ ක්‍රියාවලිය තුළ මැතිවරණ කොමිෂන් සභාවට පමණක් දෙවන වන කාර්ය භාරයක් ඉටු කරනු ලබන්නේ මෙරට ග්‍රාම නිලධාරීන් විසිනි.

උදිත ගුණවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT