රාජ්‍ය සේවකයා සතුටු වන රාජ්‍ය සේවයක් ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ ඇති කරන බව එහි නායක, ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (30) කොළඹදී පැවති සංවර්ධන නිලධාරී සහ ආශ්‍රිත සේවා නිලධාරී ජාතික සමුළුව අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“සැප්තැම්බර් 21 වැනිදා සහතික වශයෙන්ම අපි මේ රටේ සමාජ පරිවර්තනයක් සිදු කරනවා. ඔබ අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ ඵලයක්. දීර්ඝ කාලයක පාසල් ජීවිතයක් සහ විශ්වවිද්‍යාල ජීවිතයක් ගෙවා දැමූ ඔබ අපේ රටේ සමාජ සංවර්ධනයට දායක වෙනවා. ඔබ හැකියාවත්, බුද්ධියත් තිබෙන පිරිසක්. නමුත් අපේ සමාජ දේහයත්, ආර්ථික ප්‍රතිපත්තියත් එහි ප්‍රතිඵල නෙළා ගන්න අසමත්වී තිබෙනවා. ඔබේ දැනුම, හැකියාව ඵලදායී ලෙස යොදා ගන්න අපේ රාජ්‍ය සේවය අසමත්වී තිබෙනවා. මේ සමාජ, ආර්ථික දේහයෙන් පිටමං වෙලා ඉන්නේ ඔබ විතරක් නොවෙයි. තරුණ තරුණියන් මේ ආර්ථික දේහයට උකහා ගන්න අසමත් වෙලා තිබෙනවා. මේ ආර්ථික ක්‍රියාදාමය ඇතුළේ බොහෝ පිරිසක් මිනිස් දූවිලි බවට පත් කර තිබෙනවා. ඒ තත්ත්වය තුළ මේ රටේ පුරවැසියාට මේ ආර්ථිකයෙන් සාධාරණය ඉෂ්ට වෙන්නේ නෑ. ආර්ථික ප්‍රතිලාභ ඔවුන්ට අහිමියි.
සැප්තැම්බර් 21 වැනිදායින් පස්සේ අපට පැවරෙන කාර්යයන් අතර ප්‍රධාන කාර්යයක් තමයි ආර්ථික දේහය ශක්තිමත් කර අපේ රටේ වැඩ කළ හැකි සියලුම පුරවැසියන් රට ගොඩනැඟීමට දායක කරගැනීම. ඒ වගේම මේ අසාර්ථක, පිරිහුණු දේශපාලන ක්‍රමය නව පරිවර්තනයකට ලක් කළ යුතුයි. අපේ රටේ නිෂ්පාදනයේ, අධ්‍යාපනයේ, ආර්ථිකයේ නව පරිවර්තනයක් අවශ්‍යයි. සැප්තැම්බර් 21 වැනිදායින් පසු මේ සමස්ත දේහයම නව පරිවර්තනයකට ලක්කරන එක තමයි අපේ ව්‍යාපාරයේ අභිප්‍රාය. ඔබ කිසිවෙක් තමන් කරන රාජකාරිය ගැන සතුටින් නොවෙයි ඉන්නේ කියන එක පැහැදිලියි. ඒ නිසා මේ පද්ධතියේම ඇති කරන නව ප්‍රතිෂ්ඨාපනයක් අපට අවශ්‍යයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් භාර ගන්නේ සහ අප වෙත පැවරී ඇත්තේ එම කාර්යභාරයයි.
සමහරු හිතනවා, මේ කඩා වැටීම අවසන් කළ හැක්කේ රාජ්‍ය සේවය දිය කර හැරීමෙන් කියලා. නෑ. යම් කඩා වැටුණු රාජ්‍යයක් එයින් ගොඩ ගත හැක්කේ ශක්තිමත් රාජ්‍ය සේවයක් ගොඩනැඟීමෙන්. මෑතකදී සිංගප්පූරුවේ අගමැතිවරයා ප්‍රකාශයක් කරමින් කියනවා, සිංගප්පූරුව සතුව පවතින ශක්තීන් දෙකක් පිළිබඳව. එකක් සිංගප්පූරුව සතුව තිබෙන විදෙස් සංචිතය. නැතිනම් ඩොලර් සංචිතය. දෙවැනි කාරණය තමයි ඔවුන් සතුව තිබෙන ශක්තිමත් රාජ්‍ය සේවය. ඉන්දියාවේ බැලුවත්, වියට්නාමයේ බැලුවත් ඔවුන් අත්පත් කරගෙන තිබෙන ආර්ථික ශක්තියෙන් විශාල ප්‍රමාණයක් රාජ්‍ය සේවයට අයත්ව තිබෙනවා. ඒ නිසා මේ පරිවර්තනයේදී අපේ රටේ රාජ්‍ය සේවය විශාල පංගුවක් හැටියට සලකා තමයි අපි අපේ සැලසුම් සකස් කර තිබෙන්නේ. ඔබ තුළ තිබෙන ශක්‍යතා කෙරෙහි විශ්වාසය තබා තමයි අපි මේ පරිවර්තන කාර්යයට අත ගහලා තිබෙන්නේ. අපේ රටේ රාජ්‍ය සේවය තුළ කොච්චර නාස්තිය, දූෂණ සිද්ධ වෙනවාද කියලා අපට වඩා හොඳින් ඔබ දන්නවා. ඒක නතර කරන්න දේශපාලන ව්‍යුහයෙන් විතරක් බෑ. ඒක නතර කරන්න වංචාවෙන්, දූෂණවලින් තොර පරිවර්තනයකට රාජ්‍ය සේවය ලක්කළ යුතුයි. ඒ වෙනුවෙන් ඔබත් සූදානම් වන්න. ඔහේ ගලාගෙන යන මේ පවතින සිස්ටම් එකට තවදුරටත් ඉඩ හැරීමෙන් මේ පරිවර්තනය කරන්න බෑ. පුරුද්දට කරන්නම් වාලේ රාජකාරි කරලා මේ සමාජ පරිවර්තනය කරන්න බෑ.
අපේ රාජ්‍ය සේවය ශක්තිමත් ලෙස ඉලක්කයකට මෙහෙය වන්න ඕනෙ. ඉලක්කසහගතව වැඩ කරන්න ඕනෙ. රාජ්‍ය සේවකයාටම දැනෙන්න ඕනෙ තමන් කරන වැඩ කොටස අනුව දැන් මේ රට ක්‍රමයෙන් ඉදිරියට යනවා, ඒ සඳහා තමනුත් දැන් දායක වෙලා ඉන්නවා කියලා. පුරුද්දට යන රාජ්‍ය සේවයක් වෙනුවට නිරන්තරයෙන් අලුත් වන, තමන් අත්පත් කර ගන්නා ජයග්‍රහණවලින් නිරන්තරයෙන් සතුටු වන, රටට ජයග්‍රහණයක් දුන්නාය කියා ස්වයං තෘප්තියට පත්වන රාජ්‍ය සේවයක්, රාජ්‍ය සේවකයෙක් අපට අවශ්‍යයි. රාජ්‍ය සේවය ගැන අපේ රටේ පුරවැසියන්ට තිබෙන්නේ තෘප්තිමත් හැඟීමක් නොවෙයි. දැන් සිදු වෙලා තියෙන්නේ රාජ්‍ය සේවයෙන් යම් කටයුත්තක් කරගැනීමට දන්නා කියන කෙනෙක් සොයා යෑමට මහජනයාට සිදුවීම. අනෙක් අතට රාජ්‍ය සේවකයාත් තම කාර්යය පිළිබඳ තෘප්තිමත් නෑ. තම සුදුසුකම්වලට ගැළපෙන රාජකාරිවල නොවෙයි නිරත වෙන්නේ. උසස්වීම් නෑ. ඇගයීම් නෑ. ජීවත් වෙන්න සරිලන විසඳුමක් නෑ. පහසුකම් නෑ. අපි ඔබගේ සේවය ඔබ සතුටු වන තෘප්තිමත් වන සේවයක් බවට නියත වශයෙන්ම පත්කරනවා.
මිනිස්සු තෘප්තිමත් වෙන්නේ තමන් ලබන වැටුපෙන් හෝ පහසුකම්වලින් පමණක් නොවෙයි. තමන් කරන රාජකාරියෙන් ඵලදායී සේවයක් ඉටු වෙනවා නම්, ඒකෙනුත් ඔහු සතුටු වෙනවා. සමහරු තැපැල් ඡන්දෙ ළඟ නිසා ඇමක් දාලා බලනවා. අපි හිතන්නේ ඔබ සතුටු වෙන්නේ වැඩි වැටුප්වලින් පමණක් නොවෙයි. රජය ඔබ කෙරෙහි විශ්වාසය තබා යම් කාර්යභාරයක් දෙනවා නම් ඔබ සතුටු වෙනවා. ඔබ ළඟට එන පුරවැසියාට තම කාර්යභාරය නිසි පරිදි ඉටු කළා කියා හිතෙනවා නම් ඔබ සතුටු වෙනවා. ඔබට පැවරී තිබෙන ඉලක්කය සම්පූර්ණ කළා නම් ඔබ සතුටු වෙනවා. අපි දන්නවා අද සංවර්ධන නිලධාරීන් ඉන්නේ විශාල අසතුටකින්. වැටුප් ගැන මෙන්ම මොකක්ද කරන රාජකාරිය කියලා. ඔබට නිසි කාර්යයක් පවරා නෑ. අපේ පාලනයක් යටතේ අපි ඔබට ඔබේ සුදුසුකම, හැකියාව මත ඉලක්කසහගත කාර්යයක් පවරනවා. එය නිසි පරිදි ඉටු කරන්න කියා අපි ඉල්ලා සිටිනවා.
අපි හැම වෘත්තියකටම අදාළ වෘත්තීය පුහුණු පාඨමාලා රාත්‍රී කාලයේදී ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. එහිදී ඔබටත් කාර්යයක් පැවරෙනවා. ඔබේ ගමේ අක්‍රමවත්, විධිමත් නොවන ශ්‍රම බළකාය විධිමත් ශ්‍රම බළකායක් බවට පත් කරන්න ඕනෙ. ඒ සඳහා ඔබේ ගමේ ඔබටත් කාර්යභාරයක් පැවරෙනවා. අපි සෑම දිස්ත්‍රික්කයකම තිබෙන ශක්‍යතා ගණන් බලලා ඒ ඒ දිස්ත්‍රික්කය තුළ කුමන නිෂ්පාදන කාර්යයක් කළ හැකි දැයි බලා ඒවා පටන් ගන්න සැලසුම් හදා තිබෙනවා. දිස්ත්‍රික්ක ඉලක්ක කර ගත් සංවර්ධන වැඩසටහන් අපි සැලසුම් කර තිබෙනවා.”
සංවර්ධන නිලධාරි සේවා සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ. ඩී. ලාල් කාන්ත මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ
උපාලි කරුණාරත්න