මන්දකට හසුවී සිටි කඳුකර කොටියා මියගොස් ඇති බව නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීහු පැවසූහ.
මස්කෙළිය පොලිස් වසමට අයත් මස්කෙළිය ලකම් වතුයායේ වතු නිවාස පේළියකට ආසන්නයේ කඳුකර කොටියකු මන්දක් සමඟ අලිගැටපේර ගසක පාමුල සිර වී සිටින බව එම වතුයායේ වතු කම්කරුවන් ඊයේ (1) උදැසන 6.00ට පමණ නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් වෙත දැනුම් දී ඇත.
මන්දට හසුවී සිටි කඳුකර කොටියා නිර්වින්දනය කර මුදාගැනීමට අවශ්‍ය වීම හේතුවෙන් නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් ඒ පිළිබඳව රන්දෙණිගල වනජීවි පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍ය අකලංක පිනිදෙණිය මහතා වෙත දැනුම් දුන් විට පශු වෛද්‍යවරයා අනුරාධපුර ප්‍රදේශයේ සේවා කටයුත්තක් සඳහා ගොස් සිට ඇත. පශු වෛද්‍යවරයා අනුරාධපුර සිට මස්කෙළිය ලකම් වතුයාය දක්වා පැමිණෙමින් සිටියදී මන්දට හසුව සිටි කඳුකර කොටියා මියගොස් තිබේ.
හොඳින් වැඩුණු කඳුකර කොටියා මන්දෙන් බේරීමට උත්සාහ කිරීම නිසා සහ දීර්ඝ කාලයක් මන්දට හසුවී සිටීම හේතුවෙන් සිදුවූ බරපතළ තුවාල නිසා මිය යන්නට ඇති බව නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීහු පැවසූහ.
තේ වතුවල සේවය කරන වතු කම්කරුවන් නිවාසවල සුරතලේට ඇති කරන සුනඛයන් දඩයම් කිරීම සඳහා රාත්‍රී කාලයේ පැමිණි කඳුකර කොටියා, මන්දට හසුවී එම මන්ද කඩාගෙනවිත් අලිගැටපේර ගසෙහි පාමුල සිරවන්නට ඇති බව වනජීවි නිලධාරීහු සැක කරති.
මේ අයුරින් මදුවලට හසුවන කඳුකර කොටියන් මුදා ගැනීම සඳහා වනජීවී පශු වෛද්‍යවරයකු සමඟ පශු වෛද්‍ය රෝහලක් නුවරඑළිය හෝ ගම්පොළ ප්‍රදේශයේ ස්ථාපනය කිරීමට වනජීවී නිලධාරීන් කාලයක් තිස්සේ සැලසුම් කළ ද එම රෝහල මෙතෙක් ස්ථාපනය කිරීමට නොහැකි වීම නිසා මෙවැනි කඳුකර කොටියන් ජීවිතක්ෂයට පත් වන බව පරිසරවේදීහු කියා සිටියහ. මියගිය කඳුකර කොටියාගේ සිරුර හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය මත සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රන්දෙණිගල වනජීවී පශු වෛද්‍ය රෝහල වෙත යොමු කරන බව නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීහු පවසති.
මන්ද ඇටවූ දඩයම්කරු අත්අඩංගුවට ගැනීමට මස්කෙළිය පොලිසිය සහ නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් විමර්ශනයක් ආරම්භ කර ඇත.
හැටන් – රංජිත් රාජපක්ෂ සහ හැටන් මධ්‍යම විශේෂ