Home » පොලිස් ආරක්ෂාව මධ්‍යයේ වයෝවෘද්ධ මවගේ දේහය මිහිදන් කෙරේ
දේහය මිහිදන් කරනවාට ප්‍රදේශවාසීන් විරුද්ධ වෙලා

පොලිස් ආරක්ෂාව මධ්‍යයේ වයෝවෘද්ධ මවගේ දේහය මිහිදන් කෙරේ

by sachintha
September 2, 2024 2:16 am 0 comment

වයෝවෘද්ධ කාන්තාවක් මිය ගිය පසු මිහිදන් කිරීමට ස්ථානයක් නොමැති වීමෙන් දින හතරකට පසු වැලිගම පොලිසියේ ආරක්ෂාව මත මිහිදන් කිරීමට කටයුතු කෙරිණි. මෙලෙස මිහිදන් කෙරුණේ ඩී.ආර්.ජී. සීලවතී නම් 98 හැවිරිදි දරුවන් 8 දෙනකුගේ මවකි.

මෙම කාන්තාව වැලිගම සමරවීර ප්‍රදේශයේ පදිංචිව සිට සුනාමි ව්‍යසනය සමඟ වැලිගම, උස්ගෙඩිවත්ත ප්‍රදේශයේ පදිංචි විය. කෙසේවෙතත් ඉකුත් අගෝස්තු මස 28 වැනි දින මෙම කාන්තාව මිය ගිය බවත්, ඇය ඉතාමත් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටි බැවින් සහ මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය නොවූ බැවින් මෘත දේහය ආදාහනය කිරීම සඳහා ප්‍රදේශයේ හදිසි මරණ පරීක්ෂකවරයා අවසර ලබා දී නොමැති අතර මිහිදන් කිරීමට අවසර ලබාදී තිබිණි. එම තීරණය මත වැලිගම නගර සභාවට අයත් මුදුගමුව පොදු සුසාන භූමියේ මිහිදන් කිරීමට සැලසුම් කළ ද, එම කාන්තාව පදිංචි ප්‍රදේශය වැලිගම ප්‍රාදේශීය සභාවට අයත් බැවින් එහිදී වැලිගම නගර සභාවෙන් අවසර ලබාදී නොමැත. පසුව වැලිගම ප්‍රාදේශීය සභාවට ගොස් දැනුම් දීම මත ප්‍රාදේශීය සභාවට අයත් වැලිගම, කොළණිය ප්‍රදේශයේ පිහිටි පොදු සුසාන භූමියේ මෘත දේහය මිහිදන් කිරීමට අවසර ලබා දී තිබේ. එම අවසරයට ප්‍රදේශයේ පදිංචි පිරිසක් විරෝධය දක්වා තිබූ බැවින් මේ පිළිබඳව වැලිගම පොලිසිය වෙත පැමිණිලි කිරීමට පවුලේ ඥාතීන් කටයුතු කර ඇත. එම පැමිණිල්ලට අනුව වැලිගම පොලිසියේ ස්ථානාධිපති උපුල් කුමාර මහතාගේ උපදෙස් සහ නියෝග මත පොලිස් නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

එම පරීක්ෂණවලින් අනතුරුව අදාළ සුසාන භූමියේ මෘත දේහය තැන්පත් කිරීම සඳහා පවුලේ ඥාතීන් පෙරේදා (31) පෙරවරුවේදී වළ හාරමින් සිටියදී නැවත එම අවට පදිංචි පිරිසක් විරෝධය දක්වා ඇති අතර හාරා තිබූ වළ ද වසා දැමීමට කටයුතු කර තිබේ. එම අවස්ථාවේදී වැලිගම පොලිසියේ ස්ථානාධිපති උපුල් කුමාර මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් පැමිණ සිද්ධිය සමථයට පත් කිරීමට උත්සාහ ගත්ත ද, කිහිපදෙනකු විරෝධය දක්වමින් කටයුතු කර ඇත.

කෙසේවෙතත් එම වළ නැවත හාරා මෘත දේහ තැන්පත් කිරීමේ කටයුතු අවසන් වන තෙක් එම ස්ථානයේ ආරක්ෂාව තර කිරීමට වැලිගම පොලිසියේ ස්ථානාධිපති උපුල් කුමාර මහතා පියවරගෙන තිබේ.

වැලිගම – අබේවික්‍රම ගුණරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT