Home » අමාරුවෙන් උස් මහත් කරගන්න වගාව අලි ඇවිත් එක රෑට විනාශ කරනවා
කන්දකැටියේ ගම් රැසකට වන අලි පීඩා

අමාරුවෙන් උස් මහත් කරගන්න වගාව අලි ඇවිත් එක රෑට විනාශ කරනවා

-ප්‍රදේශවාසීහු පවසති

by sachintha
September 2, 2024 2:13 am 0 comment

කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උල්පතගම, මාලියද්ද, කිරිවෙහෙර, බුද්ධංකෝට්ට, සේරුබැද්දයාය, මහකැලේ, බදුලුඔය, කන්දකැපුල්පත ආදී ගම්මාන රැසක ජනතාවට මේ දිනවල වන අලි තර්ජනයට මුහුණදීමට සිදුව ඇතැයි එම ගම්වාසීහු පවසති.

වී ගොවිතැන හා හේන් වගාව සිය එකම ජීවන මාර්ගය කරගත් අතිශය දිළිඳු ජනතාවක් මෙම ගම්මානවල ජීවත් වන අතර ඉන් වැඩි කොටසක් රජයේ සමෘද්ධියෙන් හා අස්වැසුමින් ජීවත් වෙති. රන්දෙණිගල හා මාදුරුඔය රක්ෂිතවල සිට කඩාවදින විසි තිස් දෙනකුගෙන් යුත් දැවැන්ත වන අලි රංචුවක් රාත්‍රී කාලයේදී සිය ගම්බිම් පුරා සැරිසරමින් ඒවායේ වගාකර ඇති වී, කෙසෙල්, පොල් ආදී වගාවන් කා දමා විනාශ කරන බවටත් ඇතැම් අවස්ථාවලදී නිවෙස්වල බිත්ති පෙරළා ගබඩා කර ඇති වී, බඩඉරිඟු ආදිය කා දමන බවටත් ඔවුහු චෝදනා කරති. මීට අමතරව මෙම වන අලි නිසා තමුන්ට රාත්‍රී කාලයේදී මෙන්ම අලුයම් කාලයේ දී ගමන් බිමන් යෑම සීමා කිරීමට සිදුව ඇතැයි ද එම ජනතාව පෙන්වා දෙති.

බුද්ධංකෝට්ට ගොවි සංවිධානයේ උප ලේකම් කේ.එච්.එම්.ඩබ්. සේනාරත්න මහතා මේ පිළිබඳ මෙලෙස අදහස් දැක්වීය.

“කන්දකැටිය කියන්නේ විශාල ගොවි ජනපද දෙකකින් සමන්විත ගොවි පවුල් දහස් ගාණක් ජීවත්වන ප්‍රදේශයක්. මේ මිනිසුන්ගෙන් බහුතරය ජීවත් වෙන්නේ හේන් කුඹුරු ගොවිතැන් කරලා. යල, මහ දෙකන්නයට අමතරව මිනිස්සු අතරමැදි කන්නවලදී බඩඉරිඟු වගා කරනවා. ඒවගේම ගොඩ ඉඩම්වල පොල්, කෙසෙල් ඇතුළු විවිධ භෝග වගා කරනවා.

දරුවන්ට උගන්වන්නේ, එදා වේල සරි කරගන්නෙ වගේම මේ මිනිස්සුන්ගේ හැම අවශ්‍යතාවක්ම සපුරගන්නෙත් ගොවිතැනින් ලැබෙන අස්වැන්න අලෙවි කරලයි.“

ඩබ්.එම්. සෙනවිරත්න මහතා ද මෙහිදී අදහස් දැක්වීය.

“අවුරුදු 30-35ක කාලෙ ඉඳන්ම මේ ගම්වල මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි වන අලි තර්ජනය. මේ වන විට එහි උග්‍රතම අවස්ථාවට ඇවිල්ලා දිනපතාම අලි, ගම් වදින්න පටන් අරගෙන. පහුගිය සතියේ අපේ ගමට කඩාවැදුණු අලි පහළොවක්, විස්සක් සම්පූර්ණයෙන්ම බඩඉරිඟු යායක් විනාශ කරලා වතුවල තිබ්බ කෙසෙල්, පොල් ගස් ටික බිමටම සමතලා කරලා දැම්මා.“

මේ සම්බන්ධයෙන් ඩබ්.එම්. ප්‍රියංගිකා මහත්මිය අදහස් දැක්වූයේ මේ ආකාරයෙනි.

“මේ ගම්වල ඉන්නේ ස්ථීර ආදායම් තියෙන මිනිස්සු නෙවෙයි. ණයට කීයක් හරි අරගෙන හරි, කනේ කරේ තියෙන දෙයක් උකස් කරල හරි තමයි මිනිස්සු ගොවිතැන් කරන්නේ. අස්වැන්න ගත්තට පස්සේ ඒක විකුණලා තමයි පවුලේ හැමදෙයක්ම කරන්නේ. රත්තරන් බඩු ටිකේ උකස් අරවා ගන්නෙත් ඒ ලැබෙන අස්වැන්නෙන්. එහෙම බලාපොරොත්තු තියාගෙන නිදිමරලා බොහොම අමාරුවෙන් උස්මහත් කරගන්න වගාව එක රෑට ඇවිල්ල අලි පාගල කාලා දාලා විනාශ කරනවා. සමහර වෙලාවට අලින්ගෙන් බේරලා ගෙට ගන්න අස්වැන්න ගෙයි බිත්ති ටික පෙරළලා කාලා යනවා. අපිට දැන් මේ ගම අතහැරලා යන තත්ත්වෙකට මුහුණ දෙන්න සිදු වෙලයි තියෙන්නේ.“

ඕ. එම් චන්ද්‍රාවතී මහත්මිය ද මෙලෙස අදහස් දැක්වූවාය.

“රෑට ගම්වදින අලි හින්දා මළගෙයක, බණ ගෙයක යන්න විදිහක් නෑ. උදේ පාන්දර දරුවෝ පාසල් යවන්න විදිහක් නෑ. කොතැනක හරි හැංගිලා ඉඳලා පාරට අලියෙක් කඩා වදී කියලා බයේ අපි ඉන්නේ පණ ගැහි ගැහී. මේ ගම්වල මිනිස්සු කොච්චර මරලා දාලා තියෙනව ද? මිනිස්සුන්ට කොච්චර පහර දීලා තියෙනව ද? කෝටි ගානක අස්වනු කාලා විනාශ කරල තියෙනව ද? මේ කිසි දෙයක් හොයන්න බලන්න කිසි කෙනෙක් එන්නෙ නෑ. වනජීවී එකට ගිහින් කිව්වොත් අලි වෙඩි දෙක තුනක් දෙනවා. සමහර වෙලාවට ඒකත් නෑ. මිනිහෙක් මරලා දැම්මොත් හරි ගමේ අය ගිහින් කිව්වොත් හරි පහුවදාට ඇවිල්ලා අලි ටික එළවලා දානවා. හැබැයි නිලධාරීන් කාර්යාලවලට යන්නත් කලින් ආපහු අලි ටික ගමට කඩා වදිනවා.

සමහර ගම්මාන ආවරණය වන විදිහට විදුලි වැටවල් හදලා තියෙනවා. ඒවගෙනුත් පලක් නැහැ. විදුලි වැටවල් පෙරළගෙන තමයි අලි ගම් වදින්නේ.“

මීගහකිවුල සමූහ – එන්. නවරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT