ළමා ආරක්ෂාව පිළිබඳව අනුරාධපුර දිස්ත්‍රික් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (29) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. එම අවස්ථාවට හිටපු මහ අධිකරණ විනිසුරු ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමල සූරිය මහතා, ළමාරක්ෂක අධිකාරියේ සැලසුම් හා තොරතුරු අධ්‍යක්ෂ ශානිකා මලල්ගොඩ මහත්මිය, ළමා ආරක්ෂක අධිකාරියේ දිස්ත්‍රික් නිලධාරී මහේන්ද්‍ර දසනායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.
එහිදී අදහස් දැක්වූ කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය.
‘රටේ අනාගතය රඳා පවතින්නේ දරුවන් මතයි, වර්තමානයේ දරුවන් නිසි ලෙස ගොඩ නොනැගුවහොත් රටට අනාගතයක් නැහැ. ළමුන්ගේ ආරක්ෂාවට මෙන්ම ඔවුන්ගේ විනාශයට ද මාධ්‍ය ප්‍රධාන හේතුවක්. එම නිසා සදාචාරාත්මක මාධ්‍ය භාවිතයක් අවශ්‍යයි. අපි හෙට දිනයේ හොඳ ශ්‍රී ලංකාවක් යහපත් රටක් බිහි කිරීමට නම් ළමා පරපුර ආරක්ෂා කිරීම අත්‍යවශ්‍යයි. එය අපි හැමෝගෙම වගකීමක් වෙනවා. රටක හතරවන ආණ්ඩුව විදිහට සලකන්නේ ජනමාධ්‍යයයි, රටක ජනමාධ්‍ය ඉතාම ප්‍රබලයි ඕනෑම දෙයක් වෙනස් කළ හැකියි. ඒ වගේම ළමයි හදන්නත් පුළුවන් ළමයි නැති කරන්නත් පුළුවන්. අපි මාධ්‍ය හැසිරවීමේ දී තියෙන වගකීම භාර ධූර කාර්ය පිළිබඳව හැමෝම කල්පනා කළ යුතුව තිබෙනවා. ‘
මෙහිදී අදහස් දැක් වූ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා,
‘වර්තමාන දරුවන්ගේ වැරදි හැසිරීම්වලට හේතු වන්නේ වැඩහිටියන්ගේ ක්‍රියාකලාපයන්. එම නිසා එම දරුවන්ගේ නොමනා හැසිරීම්වලට වැඩිහිටියන් වගකීම භාරගත යුතුයි. තව ද විවිධ අපචාර සිද්ධීන් ඇතුළු ළමුන් සම්බන්ධයෙන් වන ප්‍රවෘත්ති වාර්තා කිරීමේ දී මාධ්‍යවේදීයකු වශයෙන් වගකීම් සහගතව ක්‍රියාකිරීම වැදගත් වෙනවා. එසේම ළමුන් සුමගට ගැනීමේ අරමුණින් ක්‍රියාකිරීමට ජනමාධ්‍යවේදීන්ට ද ඉහළ වගකීමක් පැවරෙනවා.’
මෙහිදී අදහස් දැක්වූ මහේන්ද්‍ර දසනායක මහතා,
‘මේ වර්ෂයේ ජනවාරි මස සිට ජුනි මස දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජීවත්වන දරුවන්ට සිදුව ඇති විවිධ අපයෝජන සම්බන්ධව සලකා බලන විට 1929 ළමා උපකාරක සේවා වෙත පැමිණිලි දෙසිය දෙකක් (202) පමණ ලැබී තිබෙනවා. අපි ඒ පැමිණිලි විමර්ශනය කළා. මෙම දුරකතන අංකයට අමතරව අපගේ ප්‍රාදේශීය ළමාරක්ෂණ සේවා නිලධාරීන් වෙත පැමිණිලි දෙසිය අසූ නවයක් (289) පමණ ලැබී තිබෙනවා. මේ අනුව පැමිණිලි හාරසිය අනු එකක් විවිධ අපයෝජන සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබෙනවා. මේ අනුව බලන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ දරුවන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් විවිධ අපයෝජනයන්ට ලක් වන අවස්ථා දැක ගත හැකි බවත් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද වැඩිදුරටත් සඳහන් කළේය .’
මෙහිදී ළමා ආරක්ෂක අධිකාරියේ කාර්යභාරය හා ළමා අපයෝජන වාර්තාකරණයේ වර්තමාන තත්ත්වය පිළිබඳව එම අධිකාරියේ සැලසුම් හා තොරතුරු අධ්‍යක්ෂ ශානිකා මලල්ගොඩ මහත්මිය විසින් කරුණු ඉදිරිපත් කළාය.
එසේම තොරතුරු වාර්තාකරණයට අවශ්‍ය මූලාශ්‍ර ලබාගැනීමේ දී මාධ්‍යවේදීන්ට නිලධාරීන්ගේ සහය අවශ්‍ය බව මෙහි දී පැමිණි මාධ්‍යවේදීන් සඳහන් කළ අතර ළමා ආරක්ෂක අධිකාරියේ නියෝජ්‍ය සභාපති ප්‍රභාත් අමිල පෙරේරා, එහි තොරතුරු හා මාධ්‍ය සහකාර අධ්‍යක්ෂ ලක්ෂිකා මැණික්දූව යන මහත්ම මහත්මීන්, අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රවෘත්ති නිලධාරී ෂෙල්ටන් බණ්ඩාර, චන්දිම අමරසිංහ, දිස්ත්‍රික් වනිතා සංවර්ධන නිලධාරීන්, ප්‍රාදේශීය වනිතා සංවර්ධන නිලධාරීන්, මුල් ළමාවිය සංවර්ධන නිලධාරීන්, ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරීන් ඇතුළු පිරිසක්ද මෙම වැඩසටහනට එක්ව සිටියහ.
අමිල ප්‍රභාත් වනසිංහ – අනුරාධපුර අතිරේක