ඇතැම් බලවේග රටේ ඒකීයභාවය විනාශ කිරීම සඳහා ප්‍රසිද්ධියේ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව මෙම ක්‍රියාදාමය ආර්ථික අර්බුදය නමැති කඩතුරාවෙන් වසා දමා තිබෙන බව ද ඒ නිසා මේ සම්බන්ධයෙන් සංවාදයක් නැති බව ද පෙන්වාදෙයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ බත්තරමුල්ල, නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මූලස්ථානයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා මෙලෙසද කීවේය.
“මේ වන විට මාලදිවයිනේ ලංකාවේ වගේම මූල්‍ය අර්බුදයක් ඇති වෙලා තිබෙනවා. දැන් මේ වන විට ලංකාවේ ඇති වුණා වගේම වීදි සටන්වලට යන ක්‍රියාදාමයක් ආරම්භ වෙලා තිබෙනවා. බංගලිදේශය, පාකිස්තානයේ ද මේ ආකාරයට සිදු වුණා. මේ කොවිඩ් වසංගතයට පස්සේ මේ රටවල් මුහුණදීපු පොදු අර්බුදය තමයි මේක. දැන් බොහෝ දෙනකු චෝදනා කරන්නේ මේ රටේ සල්ලි, ඩොලර් පිටරටට ඇද්දා කියලා. හැබැයි මේ වන විට සත්‍ය පැහැදිලි වී තිබෙනවා. එදා යහපාලන ආණ්ඩුවේ ඩොලර් බිලියන 12.5ක් ණය ගැනීමත් එක්ක ලංකාව විශාල වශයෙන් ණය කළා. මේවායේ පොලී ගෙවන්න තිබුණු පසුබිමක තමයි ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණිලා මාස තුනකින් කොවිඩ් වසංගතය පැමිණෙන්නේ. ඒ තත්ත්වය ඇතුළේ යහපාලන ආණ්ඩුව කාලයේ පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ලවීමත් සමඟ සංචාරක කණ්ඩායම සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. එයින් ලංකාවේ ආර්ථික ක්‍රියාකාරිත්වය සම්පූර්ණවම අඩපණ වෙලා ඉදිරියට ගෙනියන්න බැරි පරිසරයක් උදා වුණා.
මාලිමාව සහ සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් කර තිබෙනවා විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියලා. රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් කර තිබෙනවා ඉඩම් බලතල සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරනවා, පළාත් සභාවලට සහ පොලිස් බලතල ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවට පවරනවා කියලා. මේ තත්ත්වය පිළිබඳ විශේෂ අවධානය මේ රටේ ජනතාව වෙනුවෙන් අප යොමු කරනවා. මේ අවස්ථාවේ මෙය සිදුකළහොත් නැවතත් මේ රටේ ජනයා අතර විශාල අසමඟියක් ඇති වෙලා, ජනවර්ග අතර ගැටලු ඇති වෙලා මේ රට නැවතත් 2009ට පෙර තිබුණු එවැනි අර්බුදකාරි යුද වාතාවරණයකට යන්න පුළුවන්. ඒ නිසා මේ පිළිබඳව අලුතින් සිතන්න.
මහින්ද අලුත්ගෙදර