ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මුල්කොටස ඉකුත් සිකුරාදා (30) පළ විය එහි දෙවැනි කොටස අද පළවේ.
ඩිජිටල් මාවත
අනාගත ලෝකය හැඩගස්වන නවතම රැල්ල වන්නේ ඩිජිටල් තාක්ෂණය පදනම් කරගත් කෘත්‍රිම බුද්ධිය හා ස්වයංක්‍රීයකරණයයි. එය සෞඛ්‍ය, අධ්‍යාපන, මූල්‍ය, ආර්ථික ආදි සකලවිධ ක්ෂේත්‍රවල දියුණුවට පාදක වෙනවා.
ශ්‍රී ලංකාව ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීම උදෙසා තාක්ෂණ ප්‍රවර්ධන පනත 2025 වසරේ අප සම්මත කරගන්නවා. මෙමඟින් ඩිජිටල් පරිවර්තන ඒජන්සියක් සහ තාක්ෂණ සහ නවෝත්පාදන සභාවක් ස්ථාපිත කරනවා. ඊට පසුබිම සකසමින් මේ වන විටත් ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත අප සංශෝධනය කර තිබෙනවා.
චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගත් අන්තර්ජාල සේවාවන් හඳුන්වාදීම ඔස්සේ ඩිජිටල් විප්ලවය වේගවත් කරනවා.
අපේ රටත් අනාගත පරපුරත් මේ නවීන ප්‍රවණතාවන්ට එක් කිරීම සඳහා අප වහාම පියවර ගන්නවා. තරුණ තරුණියන් ඩිජිටල් දැනුමෙන් සන්නද්ධ කරනවා.
තවත් වසර තුනක් ඇතුළත මුළු රාජ්‍ය සේවයම කෘත්‍රිම බුද්ධිය හා ස්වයංක්‍රීයකරණය යටතට ගෙන ඒමේ සැලසුම් අප ක්‍රියාත්මක කරනවා. පූර්ණ ඊ-රාජ්‍ය සේවයක් (e-Governance) නිර්මාණය කරනවා.
වර්තමානයේ අපේ ඩිජිටල් ආර්ථික පංගුව ඩොලර් බිලියන 5ක්. ඉදිරි පස් වසර තුළ එය ඩොලර් බිලියන 15 දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය ශක්තිමත් පදනම සකස් කරනවා.
කෘත්‍රිම බුද්ධිය ඔස්සේ වගකීම් විරහිත ලෙස ක්‍රියා කිරීම නවතාලන, එමෙන්ම කටහඬ, රූපය ආදියෙහි පුද්ගලිකත්වය හා බුද්ධිමය දේපළ අයිතිය සුරකින නීති රීති සම්පාදනය කරනවා. මැඩ්රිඩ් ප්‍රොටොකෝල් ගිවිසුම (Madrid Protocol) ඔස්සේ වෙළෙඳ ලකුණු පිළිබඳ බුද්ධිමය අයිතිය සුරකිනවා.
ඩිජිටල් පුරවැසි හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාර්යයට දැනටමත් මුල පුරා ඇති අතර, ඉදිරි මැතිවරණ සඳහා ඉලෙක්ට්‍රෝනික ඡන්ද ප්‍රකාශ කිරීම හඳුන්වා දෙනවා.
දැනුමෙන් සන්නද්ධ සමාජයක්
අනාගතයේ අප හමුවේ ඇති තාක්ෂණ, ආර්ථික හා සමාජීය අභියෝග ජය ගැනීමට නම්, දැනුමෙන් හා වෘත්තීය නිපුණත්වයෙන් සන්නද්ධ සමාජයක් නිර්මාණය කළ යුතුයි.
ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය ඒකාබද්ධ කර වොකේෂනල් ස්කිල්ස් ශ්‍රී ලංකා (VSSL) නමින් නව ආයතනයක් 2025 වසරේදී පිහිටුවනවා. සියලු වෘත්තීය පුහුණු පාසල් සහ මධ්‍යස්ථාන ඒ යටතට ගන්නවා.
පශ්චාත් පාසල් අධ්‍යාපන කොමිසම ස්ථාපිත කරනවා.
පාසලෙන් පිට වන දරුවනට වෘත්තීය පුහුණුව ලබා ගැනීම සඳහා සහාය වෙනවා. මෙහි නියමු ව්‍යාපෘතිය යටතේ 2025 වසරේ සිසුන් 50,000කට වෘත්තීය පුහුණුවට අවශ්‍ය මුදල් රජයෙන් සපයනවා. මේ නියමු ව්‍යාපෘතියේ අත්දැකීම් පදනම් කරගෙන ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව වඩාත් පුළුල් මට්ටමකින් මුදල් ලබාදීම සිදු කරනවා.
2026 අවසානයට පෙර පළාත් වෘත්තීය අධ්‍යාපන මණ්ඩල 9ක් ස්ථාපිත කරනවා. පළාත්වල ඇති සියලු වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන, වෘත්තීය විද්‍යාල මට්ටමට උසස් කොට පළාත් වෘත්තීය අධ්‍යාපන මණ්ඩලය යටතට ගෙන එනවා.
තාක්ෂණ හා කළමනාකරණ විශ්වවිද්‍යාල විද්‍යායතන හැම පළාතකම පිහිටුවනවා. හැම දිස්ත්‍රික්කයකම ඒ යටතේ පීඨ ස්ථාපිත කරනවා. අධ්‍යාපනය දියුණු විදේශ රටවල සිදු කරන්නාක් මෙන් වසර දෙකක අධ්‍යයන කාලයකින් පසු මේ විශ්වවිද්‍යාල විද්‍යායතනය මඟින් ආශ්‍රිත උපාධි ලබා දීමට පියවර ගන්නවා.
අපේ විශ්වවිද්‍යාල පද්ධතියේ තාක්ෂණය යන මාතෘකාවට අවධානය යොමු වී ඇත්තේ ඉතා අඩුවෙන්. ඒ නිසා Chennai IIT (චෙන්නායි තොරතුරු තාක්ෂණ ආයතනය) අනුග්‍රහයෙන් මහනුවර – ගලහ ප්‍රදේශයේ නව විශ්වවිද්‍යාලයක් පිහිටුවනවා. හේවාගම් කෝරළයේ, සියනෑ කෝරළයේ සහ සත් කෝරළයේ තාක්ෂණ විශ්වවිද්‍යාල ආරම්භ කරනවා. 2025 සහ 2028 කාලය අතරතුර මේ කටයුතු සඳහා මුල පුරනවා.
2008 අංක 31 දරන පනතින් පිහිටුවන ලද වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය 2026 වෙද්දී ප්‍රතිව්‍යූහගත කොට ‘විමලසුරේන්ද්‍ර තාක්ෂණික විශ්වවිද්‍යාලය’ ලෙස නම් කරනවා.
2029 වන විට ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල පද්ධතියට තවත් අලුත් විශ්වවිද්‍යාල දෙකක් එක් කරනවා.
• දේශගුණික විපර්යාස ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය
• කෘෂිකර්ම තාක්ෂණ විශ්වවිද්‍යාලය
අයන්න කියන්න ලොවටම ඇහෙන්න
වර්තමානයේ පාසල් යටිතල පහසුකම් නිර්මාණය වුණේ මීට වසර ගණනාවකට කලින් තිබූ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්. ඒවා දැන් යල්පැන ගොසින්. මේ නිසා පාසල් යටිතල පහසුකම් පද්ධතිය 2040 තාක්ෂණික යුගයට සරිලන අයුරින් නවීකරණය කරනවා. රජය ඊට අවශ්‍ය සියලු මුදල් ප්‍රතිපාදන ලබා දෙනවා.
සියලු ගුරුවරු ගුරුවරියන්ට අලුත් දැනුම සමඟ පුහුණුව ලබා දීමේ වැඩපිළිවෙළ 2025දී ආරම්භ කරනවා.
පාසල් සංවර්ධන සමිති සහ ආදි ශිෂ්‍ය සංගම් නියෝජනයන් සහිතව පාසල් මණ්ඩල පිහිටුවීම 2025 සහ 2027 අතර කාලය තුළ නිම කරනවා.
වයස අවුරුදු 17 වන විට විශ්වවිද්‍යාලයට අවතීර්ණ විය හැකි ආකාරයටම මෘදු කුසලතා, ජීවන නිපුණතා, සාරධර්ම සහිත නවීන පාසල් අධ්‍යාපනය මෙන්ම විභාග හා ඇගයීම් විධිමත් කරනවා.
ඉදිරි දශකය තුළ සියලු පාසල් දරුවනට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දෙන English for All සැමට ඉංග්‍රීසි වැඩසටහන දියත් කරනවා. රට පුරා දක්නට ඇති ඉංග්‍රීසි ගුරු හිඟය වළක්වාලීමේ කෙටි කාලීන වැඩපිළිවෙළක් ලෙස අලුතෙන් ගුරුවර ගුරුවරියන් 2,500ක් බඳවාගන්නවා. විශ්‍රාමිකයන් 1,000ක්, විද්‍යා පීඨවලින් 400ක් සහ තරග විභාගයකින් බඳවාගන්නා උපාධිධාරීන් 1,100ක්. මේ උපාධිධාරින්ට මාස 3ක විශේෂ පුහුණුවක් ලබා දෙනවා.
ළමා මනස ඇද-බැඳ තබාගනිමින් විෂයානුබද්ධ අධ්‍යාපනය ප්‍රදානය කළ හැකි අයුරින් පාසල් පෙළ පොත් ක්‍රමය වෙනස් කරලීමටත්, විෂය නිර්දේශයන් සංශෝධනය කිරීමටත් අප පියවර ගන්නවා.
දරුවන් තුළ නව දැනුම සහ කුසලතා ඔප්නැංවීම, රසවින්දනයෙන්, නිර්මාණශීලිත්වයෙන් හා ස්වශක්තියෙන් නැඟී සිටීමේ පෞරුෂය සංවර්ධනය කරනවා.
අනාගත පරපුරේ පදනම සකසන්නේ පෙර පාසල් මඟින්. ඒ නිසා පෙර පාසල් ක්‍රමය වැඩි දියුණු කිරීම, නියාමනය සහ පෙර පාසල් ගුරුවර ගුරුවරියන් ප්‍රමිතිගතව පුහුණු කිරීම සඳහා විශේෂ වැඩ සැලැස්මක් සකස් කරනවා.
ආරෝග්‍යා පරමා ලාභා
ශ්‍රී ලංකාවේ පවතින්නේ නිදහස් සෞඛ්‍ය සේවාවක්. ඒත් ඇත්තටම සෞඛ්‍ය සේවාව නිදහස්ද? අතමිට නැති කෙනෙකුට හෘදය සැත්කම් වැනි අත්‍යවශ්‍ය ප්‍රතිකාරයක් ලබාගැනීමට පවා වසර ගණන් පොරොත්තු ලේඛනයේ කල්මැරීමට සිදු වී තිබෙනවා. ඒ නිසා අපේ සෞඛ්‍ය සේවාවන් පිළිබඳව අලුත් ඇසකින් බලා, ජනතා කේන්ද්‍රීය සේවා සැපයිය හැකි පසුබිමක් සකස් කළ යුතුයි.
වෛද්‍යවරුන්, හෙද හෙදියන්, පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්, අතුරු වෛද්‍ය වෘත්තිකයන්, සහාය කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ආදි රෝහල් කාර්ය මණ්ඩලවලට වඩාත් හොඳින් රාජකාරි කළ හැකි පරිසරයක් සකස් කර, බුද්ධිගලනය අවම මට්ටමකට ගෙන එනවා.
වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩල උදෙසා දේශීය හා විදේශීය පුහුණු වීමේ අවස්ථා පුළුල් කරනවා.
වෛද්‍යවරුන්ට විදේශීය පශ්චාත් උපාධි ලබාගැනීමේ පහසුකම් වැඩි කරනවා.
අපේ රට පුරා දක්ෂ හා කීර්තිමත් වෛද්‍යවරුන් ඉන්නවා. පළපුරුදු කාර්ය මණ්ඩලවලින්ද අපේ සෞඛ්‍ය සේවාව සන්නද්ධයි. ඒ නිසා ප්‍රතිකාර සඳහා මෙරටට එන විදේශිකයන්ට පවා උසස් සේවාවක් ලබා දිය හැකි මට්ටමකට එය පත් කළ යුතුයි. එවිට එක් අතකින් විදේශ විනිමය ලැබෙනවා. ඒ මුදල් යොදවා ජනතාවට ලබා දෙන සෞඛ්‍ය පහසුකම් ඉහළ නැංවීමටත් පසුබිම සැකසෙනවා.
ඒ අරමුණද පෙරදැරිව කොළඹ ජාතික රෝහල නව සැලැස්මක් අනුව ජාත්‍යන්තර පහසුකම්වලින් යුතු නවීන රෝහලක් ලෙස යළි ඉදි කරනවා. එය දකුණු ආසියාවේ ප්‍රධානතම රෝහලක් බවට පත් කරනවා.
රට පුරා ඇති රජයේ රෝහල්වල තත්ත්වය ඉහළ නංවනවා. ජන අනුපාතයට සමපාත වන අයුරින් රජයේ රෝහල් ඉදි කොට, ඉදිරි වසර 15 අවසානයේ සෞඛ්‍ය සේවාවන් උසස්ම මට්ටමට ගෙන එනවා.
වෛද්‍ය පර්යේෂණ ආයතනය නව තාක්ෂණයෙන් සන්නද්ධ කර, කලාපයේ උසස්ම සහ ප්‍රමිතිගතම පර්යේෂණාගාරයක් බවට පත් කරනවා.
ඖෂධ වර්ගවල ප්‍රමිතිය සහතික කිරීමට පියවර ගන්නා අතර, ජාත්‍යන්තර ප්‍රමිති ආයතනයන් පිළිගන්නා ඖෂධ ප්‍රමිති සහතික ආයතනයක් ස්ථාපිත කරනවා.
කෘත්‍රිම බුද්ධිය, ඩිජිටල්කරණය හා ස්වයංක්‍රීයකරණය භාවිත කරමින් සුහුරු සෞඛ්‍ය සේවාවක් හරහා නාස්තිය අවම කිරීමට පියවර ගන්නවා.
දේශීය හා පාරම්පරික වෙදකම් ප්‍රවර්ධනය කරනවා. මේ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමවේද ආරක්ෂා කරලීමටත්, අනාගත පරපුර වෙත දායාද කරලීමටත් පියවර ගන්නවා.
පුද්ගලික රෝහල් නිසි නියාමනයකට ලක්කිරීමට අවශ්‍ය නීති රීති හඳුන්වා දෙනවා.
පළාත් නවය පුරා පුද්ගලික රෝහල් ආරම්භ කරලීම දිරිමත් කරනවා.
රටේ ඕනෑම පුරවැසියකුට රජයේ හෝ වේවා පුද්ගලික හෝ වේවා තමන් කැමති රෝහලකින් ප්‍රතිකාර ලබාගැනීමට හැකි වන පරිද්දෙන් ශක්තිමත් සෞඛ්‍ය රක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වා දීම පිළිබඳවද අපේ අවධානය යොමු වී තිබෙනවා.
නිම් වළල්ලෙන් එහා ලෝකයට…
අපේ රට ගුවන් හා නාවික ගමනාගමනයෙන් පමණක් නොව, ගොඩබිම් ගමනාගමනයෙන්ද ලොව සමඟ වැඩි වැඩියෙන් යා කිරීමට පියවර ගන්නවා.
2026 වෙද්දී පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පුළුල් කිරීමේ කාර්යයන් ආරම්භ කරනවා.
හිඟුරක්ගොඩ ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි කටයුතු ආරම්භ කරනවා.
කොළඹ වරාය තව තවත් පුළුල් කර, ජාත්‍යන්තර දියුණු වරාය සමඟ කරට කර තරග කළ හැකි මට්ටමකට ගෙන එනවා.
ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය කටයුතු 2026 වෙද්දී ඉන්දියාව සමඟ එක්ව පටන් ගන්නවා.
රට පුරා ඇති සමස්ත වරාය පද්ධතියම ක්‍රමිකව නවීකරණය කරනවා.
පුරවර අසිරිය
කළුතර සිට මීගමුව දක්වා කලාපය තනි මහපුරවරයක් ලෙස සංවර්ධනය කරනවා. නගර නිර්මාණය පිළිබඳ ජගත් කීර්තිය දිනූ සිංගප්පූරුවේ සූබානා ජුරොං (Surbana Jurong) ආයතනය සමඟ එක්ව මේ නගර සැලසුම් සකසනවා.
දැනට එක් එක් දිස්ත්‍රික්කයන්හි ප්‍රධාන නගර ලෙස සැලකෙන නගරවලට අමතරව තවත් උප නගරයක් ප්‍රධාන පහසුකම්වලින් සමන්විතව ගොඩනංවනවා.
මේ සියලු නගර, පුරවර සහ මහපුරවර නිර්මාණයේදී ජාත්‍යන්තර මට්ටමේ සියලු නවීන පහසුකම් ඊට එක් කරනවා.
ස්වාභාවික විපත් නිසා ආපදාවට ලක් වන නගර සඳහාත්, එවැනි අවදානමක් ඇති අලුතෙන් ඉදි වන නගර සඳහාත් නවීන විපත් පාලන සැලසුමක් සකස් කරනවා. එවැනි නගර ඉදි කරන්නේ විපත් අවම කරගැනීමට හැකි වන අයුරිනි.
එවැනි අඩුපාඩුකම් ගණනාවක් අප හඳුනාගෙන තිබෙනවා. ඒ අඩුපාඩු සම්පූර්ණ කරලීමේ ක්‍රියා පිළිවෙත 2025 වසරේ ආරම්භ කරනවා.
බොහෝ ප්‍රධාන නගරවල භාවිත වෙන්නේ යල් පැන ගිය මලාපවහන පද්ධති, නාගරික මලාපවහන ක්‍රම යාවත්කාලීන කිරීමට පියවර ගන්නවා.
නගර සඳහා සැපයෙන ජලසම්පාදනය විධිමත් කරන අතර, වියළි කලාපය, කඳුරට, වෙරළ තීරය ආදි ජලය හිඟ ප්‍රදේශ සඳහා නළ ජලය ලබා දෙනවා.
ගමන බිමන
තිරසර හරිත ප්‍රවාහන සේවාවක් යන ඉලක්කය සහිතව ප්‍රවාහන හා මහාමාර්ග ක්ෂේත්‍රයේ ඉදිරිය පිළිබඳ සැලසුම් සකස් කර තියෙනවා.
ඩිජිටල් තාක්ෂණය වාහන හැසිරවීමේ සිට රියැදුරු බලපත් ලබාදීම දක්වා ව්‍යාප්ත කරනවා.
විදුලි වාහන භාවිතය දිරිමත් කරමින් ආරෝපණ මධ්‍යස්ථාන දිවයින පුරා පිහිටුවනවා.
පොදු ප්‍රවාහන සේවා ක්‍රමවත්ව සංවර්ධනය කරනවා.
දැනට ඇති මාර්ග සංවර්ධන කිරීම අඛණ්ඩවම සිදු කරමින් අනාගතයට ගැළපෙන පරිපූර්ණ මහාමාර්ග සැලැස්මක් සකසනවා.
මහනුවර අධිවේගි මාර්ගයේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යනවා.
මේ කාර්යයන් 2025 වසරේ ආරම්භ කරනවා.
උතුරට යතුරක්
අතීතයේ සිටම ලාංකේය ආර්ථිකයට ශක්තිය සපයන යතුරක් වූයේ උතුරුකරයයි. එහෙත් යුද්ධයේ අනිෂ්ට විපාකයක් විදිහට උතුරු ආර්ථිකය බිඳවැටුණා. අප දැන් උතුරේ ඒ ආර්ථික ශක්තිය යළිත් පිබිදවීමේ ශක්තිය උතුරට ලබා දීමේ සැලසුම් ආරම්භ කර තිබෙනවා. බස්නාහිර පළාත මෙන්ම අපේ රටේ ආර්ථිකයට ඉහළ දායකත්වයක් සපයන යතුරක් බවට උතුර පත් කරලීම අපේ අරමුණයි.
කාලයක් තිස්සේම උතුරේ දැවෙන ප්‍රශ්නයක් වූයේ ජල හිඟයයි. දැනට මුහුදු ජලය පිරිසිදු කිරීමේ එක් ව්‍යාපෘතියක් අප ආරම්භ කර ඇති අතර, තවත් එවැනි ව්‍යාපෘති කිහිපයක්ම අපේ වැඩ ලැයිස්තුවේ තියෙනවා.
අලුතෙන් අරඹන ජල ව්‍යාපෘති ලැයිස්තුවේ ප්‍රමුඛත්වය ලබා දී ඇත්තේ ‘යාපනයට ගංගාවක්’ ව්‍යාපෘතියයි. මෙය 2027දී ආරම්භ කරනවා. 2026දී උතුරුකරය පුරා ඇති කුඩා වැව් ප්‍රතිසංස්කරණය කරනවා. පුලියන්කුලමෙන් ආරම්භ වී, මන්නාරමෙන් මුහුදට වැටෙන පාලිආරු ගංගාව හරස් කොට ජලාශයක් ඉදි කරනවා.
පුනරින් නව නගරය පුනර්ජනනීය බලශක්ති ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා.
යාපනය තාක්ෂණික අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කරනවා.
ඉන්දීය ආධාර යටතේ ඉදි කළ ‘සරස්වතී මහල්’ දෙමළ කලා හා සංස්කෘතික කේන්ද්‍රස්ථානයක් ලෙස තවදුරටත් සංවර්ධනය කරලීමට අවශ්‍ය පූර්ණ සහාය ලබා දෙනවා.
ජාත්‍යන්තර කීර්තියට පත් ‘ගාලු සාහිත්‍ය උලෙළ’ මෙන් සාහිත්‍ය උලෙළක් යාපනයේ ආරම්භ කරනවා.
ගුවන්, නාවික හා ගොඩබිම් ප්‍රවාහන මාර්ග සංවර්ධනය කරමින් දකුණු ඉන්දියාව සහ උතුරුකරය අතර ආර්ථික, සමාජීය, සංස්කෘතික සබඳතා ශක්තිමත් කරනවා.
නැඟෙනහිර නවෝදාව
බලශක්ති, ප්‍රවාහන, වරාය, නාවික, ගුවන්, කර්මාන්ත ආදි අංශයන්ගෙන් සන්නද්ධ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් බවට ත්‍රිකුණාමලය පත් කරනවා. මේ කාර්යයන් සඳහා ඉන්දීය සහාය ලබාගන්නවා.
වෙරුගල්ආර සිට පානම-කුමන වෙරළ තීරය සංචාරක කර්මාන්තයට සුදුසු පරිදි සංවර්ධනය කරනවා.
හැඩඔය ජල ව්‍යාපෘතියට 2025 වසරේ මුල පුරනවා.
වතුකරයට හිරු පායයි
වතු සේවක සේවිකා වැටුප් ඉහළ නැංවීමේ ගැසට් නිවේදනය අප මේ වන විටත් නිකුත් කර හමාරයි. ඊට අමතරව වතුකරයේ ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමට සුවිශේෂ පියවර ගණනාවක් අප ගන්නවා.
ලයින් කාමර ජීවිතය වෙනුවට වඩාත් යහපත් ජීවිතයක් වතුකරයේ ජනතාවට ලබා දීම උදෙසා නිවාස අයිතිය සහ සින්නක්කර ඉඩම් අයිතිය ඔවුන්ට හිමි කරනවා. ඒ අනුව ලැයිමක් වෙනුවට ගම්මානයක් ලබා දීමට සැලසුම් කරනවා. 2025 වසරේ සිට මේ වැඩ කටයුතු ආරම්භ කරනවා.
වතුකරයේ ජනතාවට වෙනත් වගාවන්හි නිරත වීමට අවශ්‍ය ඉඩම් ආදි පහසුකම් ලබා දීමේ විධිමත් ක්‍රමවේදයක් ආරම්භ කරනවා.
වතු පාසල්වල ගුරු හිඟය නැති කිරීම උදෙසා වතුකරයෙන්ම බිහි වන දක්ෂ තරුණ තරුණියන් යොදවාගැනීම තහවුරු කරමින් ශ්‍රීපාද අධ්‍යාපන විද්‍යා පීඨය පුළුල් කරනවා.
වතු පාසල්වල විෂය ධාරාවන් පුළුල් කරනවා. විශේෂයෙන්ම විද්‍යා විෂයයන් සඳහා අවශ්‍ය පහසුකම් ක්‍රමිකව ලබා දෙනවා.
වතු ආශ්‍රිත සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීමට පියවර ගන්නවා.
අඩු ආදායම්ලාභීන්ට අස්වැසුම ලබා දෙනවා.
ප්‍රභාෂ්වර සමාජයක් කරා
සමාජ මට්ටම් හා විවිධ සමාජ කණ්ඩායම් ක්‍රමයෙන් උසස් තලයකට ගෙන ඒම ප්‍රගමනයේ පදනමයි. අවධානයට ලක් වූ කණ්ඩායම් මෙන්ම එතරම් අවධානයට ලක් නොවූ කණ්ඩායම්ද අප අතර සිටිති. ආර්ථික සංවර්ධනයට මේ සියලු දෙනාගේම දායකත්වය අවශ්‍යය. එමෙන්ම සංවර්ධනයේ ප්‍රතිලාභ මේ සියලු කණ්ඩායම් වෙත සාධාරණ අයුරින් බෙදී යෑමද අවශ්‍යයි. සමාජය ප්‍රභාෂ්වර වන්නේ එවිටය.
හොරු අල්ලන අණපනත්
‘හොරු අල්නවා, අල්ලනවා’ යැයි පුරසාරම් දොඩන දේශපාලන නායකයන් කිසිවෙකු ඒ සඳහා අවශ්‍ය අණ පනත් සම්මත කරගැනීමට වෙහෙසක් හෝ උනන්දුවක් දැක්වූයේ නෑ. අප කයිවාරු ගැහුවේ නෑ. අප කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කොට, අල්ලස හා දූෂණය වැළැක්වීම උදෙසා ලෝකයේ හොඳම ක්‍රමවේදයන්ගෙන් සමන්විත නවීන දූෂණ විරෝධි අණ පනත් සම්මත කරගැනීමයි.
දකුණු ආසියාවේ දූෂණය අවම රාජ්‍යය බවට අපේ රට පත් කරගැනීම උදෙසා අප පහත දැක්වෙන දූෂණ විරෝධි න්‍යායපත්‍රය ක්‍රියාවට නංවනවා.
1. දූෂණය පිටුදැකීම උදෙසා පූර්ණ කැප වීම
2. විනිවිදභාවයෙන් යුතු අනාගතයක් උදෙසා ආයතන ශක්තිමත් කිරීම
3. සොරකම් කරන ලද වත්කම් ප්‍රතිසාධනය
4. ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම
මේ වැඩපිළිවෙළ යටතේ:
2023 අංක 09 දරන දූෂණ විරෝධි පනත සම්පූර්ණයෙන් ක්‍රියාවට නංවනවා.
2025 සිට 2029 දක්වා ජාතික දූෂණ විරෝධි සැලැස්මක් සකස් කර, ක්‍රියාත්මක කරනවා.
විගණන කාර්යන් වඩාත් බලවත් කරලීම උදෙසා, ජාතික විගණන පනත සංශෝධනය කරනවා.
වත්කම් බැරකම් හා ළබැඳියාවන් පිළිබඳ තොරතුරු හෙළි කිරීම කාර්යක්ෂම හා විනිවිද පෙනෙන අයුරින් ඉටු කරනවා.
මූල්‍ය අපරාධ සහ මුදල් විශුද්ධිකරණය පිළිබඳ නීති රීති දැඩි කරනවා.
දූෂණ ක්‍රියා මැඬලීමේ නීති රීති හා පරීක්ෂණ ශක්තිමත් කරනවා.
සමාගම් නීතිය සංශෝධනය කර, හිමිකාරිත්ව ප්‍රතිලාභ රාමුව, මූල්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ ජගත් කාර්ය සාධක බළකායේ ප්‍රමිතීන්ට අනුකූලව සකසනවා.
රාජ්‍ය ප්‍රසම්පාදන කාර්යයන් විනිවිද පෙනෙන සුළු අයුරින් ඉටු කරනවා.
බදු සහන ලබන ආයතන ලැයිස්තුව ප්‍රසිද්ධ කරනවා.
තොරතුරු දැනගැනීමේ පනත තවත් ශක්තිමත් කරනවා.
ගෞරවනීය කාන්තාව
සුළුතරයේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අප විවිධ පියවර ගන්නවා. ඒත් අපේ සමාජයේ බහුතරය එනම් 51.6%ක් වූ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් අප නිසි පියවර ගෙන තියෙනවාද? ඒ ප්‍රශ්නය අප ඉදිරියේ තියෙනවා.
අපි කාන්තාවට ගෞරවය, ශක්තිය, ආරක්ෂාව සහ ස්වාධීනත්වය ලැබෙන පදනමක් සහිත සමාජයක් නිර්මාණය කරනවා. ඊට අවශ්‍ය නීති රීති සම්පාදනය කරනවා. මේ සඳහා දැනටමත් අප කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත සම්මත කර තිබෙනවා.
‘කාන්තාව සවිබල ගැන්වීමේ පනතට’ අනුව කාන්තා අයිතිවාසිකම් සඳහා වෙනම කොමිෂන් සභාවක් පත් කරනවා.
අගහිඟකම්වලින් පෙළෙන කාන්තාවට සහාය වීම සඳහා නව ප්‍රතිපත්ති සකසනවා.
වර්තමානයේ කාන්තාවන් මුහුණ දෙන ක්ෂුද්‍ර මූල්‍ය ණය ඇතුළු වෙනත් ණය බරින් ඔවුන් මුදාගැනීම උදෙසා දැනට ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ තව තවත් පුළුල් කරනවා.
කාන්තා ගෘහමූලික පවුල් සඳහා රුපියල් ලක්ෂ 10ක උපරිමයකට යටත්ව 3%ක පොලියක් යටතේ සහන ණය ලබා දෙන අතර, ඔවුන්ට ස්වයං රැකියා අවස්ථා උදා කරනවා.
නිවෙසේ, මඟතොටේ, වැඩබිමේ ආදි තැන්වල කාන්තාවන් මුහුණ දෙන ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට පියවර ගන්නවා.
සෑම පොලිස් ස්ථානයකම විධිමත් හා පරිපූර්ණ කාන්තා හා ළමා කටයුතු ඒකක පවත්වාගෙන යෑම තහවුරු කරමින්, කාන්තා පොලිස් නිලධාරීන් සංඛ්‍යාව ඉහළ නංවනවා.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 51.6%ක් කාන්තාවන්. දේශපාලන ක්ෂේත්‍රයේ, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.
සාර්ක් කලාපයේ සෙසු රටවල් සමඟ එක් වී කාන්තා අයිතිවාසිකම් සඳහා කලාපීය නීති සම්පාදනයටත්, ඒ සම්බන්ධයෙන් කලාපීය සමුළුවක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමටත් අප කටයුතු කරනවා.
2025 සිට 2030 දක්වා කාලය තුළ මේ කාර්යයන් සිදු කරනවා.
දැයට පිපෙන මල්
දරුවන්ගේ මානව හිමිකම් සුරැකීම, ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ඔවුන් අපයෝජනයට ලක් කිරීමෙන්, අපචාරයන්ගෙන් සහ ලිංගික කටයුතු සඳහා යොදාගැනීමෙන් මුදාගැනීම ආදිය සම්බන්ධයෙන් අවශ්‍ය නීති රීති සහ අණ පනත් 2025 වසර තුළ සම්පාදනය කරනවා.
යුනෙස්කෝ සංවිධානය සමඟ ඒකාබද්ධව, දරුවන්ගේ පෞද්ගලිකත්වයට හානි වන ආකාරයේ ඡායාරූප ආදිය සයිබර් අවකාශයට එක් කිරීමට එරෙහි නීති රීති දැනටමත් සම්පාදනය වෙමින් පවතිනවා. ළමා වින්දිතයන් වෙනුවෙන් වඩා සුදුසු රැකවරණ මාදිලියක් සකසාගැනීමට අප පියවර ගන්නවා.
ළමා නිවාස, පෙර පාසල්, අතිරේක පන්ති, ක්‍රීඩා පුහුණු ආයතන සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන නියාමනය කිරීම තුළින් දරුවන්ගේ සුරක්ෂිතතාව, අවස්ථාවන් සහ අයිතිවාසිකම් සුරැකීමට අප නීති රීති ගෙන එනවා.
ඩිජිටල්කරණය වූ කාර්යබහුල සමාජ වටපිටාවක තනි වන සහ අසරණ වන දරුවන්ට පහසුවෙන් ළඟා විය හැකි උපදේශන සේවා මධ්‍යස්ථාන බිහි කිරීමට අප බලාපොරොත්තු වෙනවා. පාසල් මට්ටමින් මෙන්ම පාසලට පරිබාහිරවද රජයේ අනුග්‍රහය සහ නියාමනය සහිතව මෙය සිදු කිරීමට අප ක්‍රියා කරනවා.
මේ කාර්යයන් 2029 වන විට නිම කරනවා.
යොවුන් වසන්තයේ…
රටේ හෙට දවස භාර වෙන්නේ අද දවසේ තරුණ පරපුරට; Gen Z ගණයට. ඔවුන් ඉපදුණු දා සිට හැදුණේ වැඩුණේ වේගයෙන් දියුණු වන තාක්ෂණ ලෝකයත් සමඟ, ඩිජිටල් පරිසරයක. ඒ නිසාම ඔවුන්ගේ ජීවිත වේගවත්; ඉක්මන්.
ඩිජිටල් දැනුමැති, වේගවත් යොවුන් පරපුරට රටේ අනාගතය භාර ගැනීම උදෙසා අවශ්‍ය දැනුම සහ පන්නරය අප ලබා දෙනවා.
ඩිජිටල් අලෙවිකරණය (Digital Marketing), සේවා දායකයන්ට නිදහස් සේවාවන් සැපයීම (Freelancing), විද්යුත් වාණිජ කාර්යයන් (e-Commerce) ආදි ක්ෂේත්‍රයන්හි පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ඔවුන්ට නිවෙසේ සිටම ආදායම් උත්පාදනය කළ හැකි මාර්ග විවර කරනවා.
සමාජ මාධ්‍ය පරිහරණය කරමින් ආදායම් උපදවාගන්නා යොවුන් පරපුරට ඊට අවශ්‍ය නිර්මාණ සහ තාක්ෂණික මඟපෙන්වීම් ලබා දෙනවා. ආර්ථිකය ශක්තිමත් වෙද්දි, පිබිදී එන නවීණ කෘෂි සංස්කෘතිය, පරිසරකාමි සංචාරක ව්‍යාපාරය ආදි ක්ෂේත්‍ර තුළ රැකියා ලබාගැනීමටත්, නව ව්‍යවසාය ආරම්භ කිරීමටත් අවශ්‍ය පසුබිම සකසනවා.
ජාතික තරුණ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන සේවාවන් පුළුල් කරනවා. විවිධ අයහපත් ඇබ්බැහියන්ගෙන් ඔවුන් මුදා ඵලදායි ලෙස සමාජගත කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා.
සංස්කෘතික, සෞන්දර්යාත්මක හා නිර්මාණාත්මක කාර්යයන් සඳහා මෙන්ම ක්‍රීඩා කටයුතු සඳහා ද ඔවුන්ට අවකාශ සහ ආධාර ලබා දෙනවා.
දේශපාලන ක්ෂේත්‍රයේ තරුණ නියෝජනය ඉහළ නැංවීමට අවශ්‍ය පසුබිම සකසා දෙනවා. 1994 වසරේ අප ආරම්භ කළ, දේශපාලන විද්‍යා පීඨ සංකල්පය යළි පණ ගන්වනවා. ඒ සමඟ යොවුන් පාර්ලිමේන්තු උපදේශක කාර්යාලයද පිහිටුවා, නව පරපුරේ දේශපාලනඥයන් දැනුමින් සන්නද්ධ කරනවා.
නව පරපුරේ කතිකාව (Gen Z Dialogue) ඇති කරමින් නව අදහස් රාජ්‍ය පාලනයට එක් කරගන්නවා.
පළාත් යොවුන් කේන්ද්‍ර යළි පූර්ණ ලෙසම පණ ගන්වා, නවීන පහසුකම් ලබා දෙනවා.
ක්‍රීඩාවට ජවයක්
අතීතයේ සිට අනුගමනය කෙරුණු අවිධිමත් පිළිවෙත් නිසාත්, විවිධාකාරයේ පරිබාහිර අතපෙවීම් නිසාත් වර්තමානයේ ක්‍රීඩා පරිපාලනයේ අඩුපාඩු සහ දුර්වලතා දක්නට තිබෙනවා. මේ කවර හෝ හේතු නිසා අවසානයේ පීඩාවට පත් වන්නේ අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්. මේ තත්ත්වය මඟහැරීම පිණිස නව ක්‍රීඩා නීතියක් අප හඳුන්වා දෙනවා.
ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව පත් කරන ලද කමිටුවේ නිර්දේශ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතිව්‍යූහගතකරණයට ලක් කරනවා. කමිටුව ඉදිරිපත් කළ කෙටුම්පත මේ වන විට අනුමැතිය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
ක්‍රීඩා පුහුණු ආයතනය වර්තමානයට ඔබින ආකාරයට උසස් කරනවා.
ගම්බද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම උදෙසා ගම් මට්ටමින් සහ පාසල් මට්ටමින් විධිමත් වැඩපිළිවෙළක් සකසනවා.
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය ජාත්‍යන්තර ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කරනවා.
2025 වසරේ මේ සියලු කාර්යයන් ආරම්භ කරනවා.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්
වර්තමානයේ සමාජයේ පවත්නා වේගවත් හා සංකීර්ණතා නිසා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට නිසි රැකවරණය ලබා දීමට දූදරුවන්ට අසීරු වන අවස්ථා තිබෙනවා. වැඩිහිටියන් පමණක් නොව, දූදරුවන්ද කරකියාගත නොහැකි අසරණ තත්ත්වයකට පත් වෙනවා. මේ නිසා නවීන සියලු පහසුකම්වලින් යුතු ජ්‍යෙෂ්ඨ පුරවැසි රැකවරණ මධ්‍යස්ථාන රටපුරා ඉදි කරන්නට අප අපේක්ෂා කරනවා.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් උදෙසා ජාතික ප්‍රතිපත්තිය 2025 වසරේ සංශෝධනය කරනවා.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සමාජ, සංස්කෘතික ජීවිතය පෝෂණය කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ප්‍රජා මණ්ඩල මඟින් විවිධ ක්‍රියාකාරකම් සංවිධාන කරනවා.
විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව
ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 4 වැනි ව්‍යවස්ථාව අනුව එවැනි තැනැත්තන්ගේ සියලු මානව අයිතිවාසිකම් හා මූලික නිදහස පූර්ණ වශයෙන් සහතික කිරීම සඳහා නව පනතක් 2025 වසරේ පාර්ලිමේන්තුවට ගෙන එනවා.
සංඥා භාෂා පනත් කෙටුම්පත සම්මත කරගැනීමටත්, විශේෂ අවශ්‍යතා සහිත තැනැත්තන් සඳහා වූ ජාතික ප්‍රතිපත්තියක් සැකසීමටත් පියවර ගන්නවා. ඔවුන් සඳහා වූ ගොඩනැඟිලි ප්‍රවේශ ප්‍රතිපත්තිය කාලානුරූපිව සංශෝධනය කරනවා. විශේෂ රැකියා කෝටාවක් ඔවුන්ට වෙන් කරනවා.
සැමට ගෞරවය
අවධානයට ලක් නොවන එහෙත් මදිපුංචිකම්වලට ලක් වන සමාජයෙන් කොන් වූ කුඩා ප්‍රජා කණ්ඩායම් රට පුරා ඉන්නවා. මේ ප්‍රජා කණ්ඩායම් පීඩනයට ලක් වී තිබුණත් ඒ පිළිබඳ සමාජ අවධානය යොමු වන්නේම නැති තරම්. ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය ආදි හේතු මත කිසිදු පුරවැසියෙකුට කවර හෝ හේතුවක් මත වෙනස්කමක් හෝ මදිපුංචිකමක් ඇති නොවන සමාජයක් අප නිර්මාණය කරනවා.
ඉතිරි කොටස හෙට (3) පළවේ
ඡායාරූපය – තිලක් පෙරේරා