කල්පිටිය විවිධ සේවා සමුපකාර සමිතියෙන් පාලනය වන ඉන්ධන පිරවුම්හලේ පෙට්‍රල් ඉන්ධන බෙදාහැරීමේ ටැංකිය දින තුනක සිට මුද්‍රා තබා වසා දමා ඇතැයි වාර්තා වේ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වයඹ පළාත් කාර්යාලය විසින් මෙසේ මුද්‍රා තබා ඇති අතර, එම කාර්යාලයේ වයඹ පළාත් වැඩ බලන කළමනාකාරතුමන් සහ පරීක්ෂකවරයකු විසින් පෙට්‍රල් ඉන්ධන සාම්පලයක් ද වැඩිදුර පරීක්ෂණ සඳහා රැගෙන ගොස් ඇත.
මේ පිළිබඳව අප කළ විමසීමේදී දැනගන්නට ලැබුණේ පසුගිය දින කිහිපයේ මේ ඉන්ධන පිරවුම්හලෙන් පෙට්‍රල් ලබා ගත් වාහන රැසක් විවිධ දුෂ්කරතාවලට මුහුණ පෑ බවත්, කාර්මික ශිල්පීන් විසින් භූමිතෙල් මිශ්‍ර පෙට්‍රල් භාවිතය නිසා මෙසේ සිදුවී ඇති බවත්ය.
අප මේ පිළිබඳව එම පිරවුම්හලෙන් ඉන්ධන ලබා ගත් කිහිප දෙනකුගෙන් අදහස් විමසීය.
එරඹුකුඩැල්ල පදිංචි ලාල් සිල්වා මහතා – “මම බයිසිකලේට තෙල් ගහගෙන ටික දුරක් යන කොට බයිසිකලේ නතර වූණා. පස්සෙ කාර්මිකයකු ලවා එය පරීක්ෂා කිරීමේදී දැනගන්න ලැබුණේ පෙට්‍රල් එක්ක භූමිතෙල් මිශ්‍ර වෙලා කියලා.”
ඒත්තාල පදිංචි අසන්කුද්දුස් අහමඩ් ඛාන් මහතා – “තෙල් ටික ගහ ගත්තාට පස්සේ තැනින් තැන ත්‍රිවිල් එක නැවතෙන්න ගත්තා. භූමි තෙල් ගඳකුත් ආවා. පස්සේ බාස් කෙනෙක්ට කියලා බැලෙව්වා. එයා කිව්වා, පෙට්‍රල් එක්ක භූමිතෙල් ගහලා කියලා. බෝර් එක කැපිලා. බෝර් එක මාරු කරන්න වුණොත් රුපියල් දහ දාහට වඩා යනවා.”
පසුව කල්පිටිය විවිධ සේවා සමුපකාරයේ හිටපු සභාපතිවරයකු ද සහ වත්මන් කාරක සභාවේ සභාපති කේ.එම්.එම්. රසාක් මහතා – “යතුරුපැදි 50කින් සහ ත්‍රිරෝද රථ 15කින් විතර මේ ගැන පැමිණිලි ආවා. මම කාරක සභාවේ සභාපති වශයෙන් අතුරු ව්‍යවස්ථාවේ බලතල අනුව මේ පිළිබඳව ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට පැමිණිලි කළා. ඒ අනුව ඔවුන් පැමිණ පෙට්‍රල් ටැංකියට අදාළ පොම්පයට මුද්‍රා තැබුවා. අදාළ ටැංකියෙන් පෙට්‍රල් සාම්පල රැගෙන ගියා.”
ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු ඒ. එම්. රියාජ් මහතා – “භූමිතෙල් ගඳක් පෙට්‍රල්වලින් ආව බව මමත් පිළිගන්නවා. හැබැයි අපි කිසිම අක්‍රමිකතාවක් කර නෑ. ඒ නිසා බය නෑ. අපිත් එක්ක තරහ අය ඉන්නවා. මේක ඒ අයගේ කුමන්ත්‍රණයක්.”
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වයඹ පළාත් වැඩ බලන කළමනාකරු එස්. බී. රත්නායක මහතා – “පසුගිය බ්‍රහස්පතින්දා (29 ) මේ ඉන්ධන පිරවුම්හල සම්බන්ධයෙන් පැමිණිලි ලැබුණා. ඒ අනුව සිකුරාදා (30) මම පැමිණ අදාළ ඉන්ධන පොම්පයට මුද්‍රා තැබූවා. රැගෙන එන ලද ඉන්ධන සාම්පල ප්‍රධාන කාර්යාලය හරහා විද්‍යාගාර පරීක්ෂණ සඳහා යොමු කළා.”
කල්පිටිය සමූහ – කුමාරී පද්මලතා