“මෘදු ලෙස කතා කරන්න, විශාල දණ්ඩක් රැගෙන යන්න; එවිට ඔබ බොහෝ දුර යාවි.” බටහිර අප්‍රිකානු ජනයා අතර තිබූ මේ කියමන ලෝකයේ පෙරළිකාර ප්‍රතිපත්තියක පදනම බවට පත්වන්නේය. මිනසෝටා ප්‍රාන්තයේ දී තියඩෝර් රූස්වෙල්ට් මෙම කියමන උපුටා දක්වන්නේ, 1901 සැප්තැම්බර් දෙවැනිදාය. ඉන් සතියකට පසු හෙතෙම එක්සත් ජනපද ඉතිහාසයේ ළාබාලතම ජනාධිපතිවරයා විය. රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශයක් ලෙස අප්‍රිකානු ජන කියමනක් නැගී සිටින්නේ, එය ලෝක තලයේ බලවතකුගේ ප්‍රයෝගික භාවිතය සඳහා එක්වීමෙනි. අර්බුදය සඳහා විසඳුම වන්නේ සාකච්ඡා මේසය වුවත්, ඒ සඳහා යා යුත්තේ සන්නද්ධ බලවන්තභාවයක් සහිතව බව මෙහිදී අවධාරණය වේ. වේවැලක් බිත්තියේ එල්ලා තබා, බාල ළමෝ වෙත එය පෙන්වමින් අවවාද ලබාදීමේ ප්‍රවේශයට සාම්‍යයක් වන ආකාරයේ මෙම භාවිතය, එක්සත් ජනපදය ලෝක බලවතකු ලෙස නැගී සිටීම සඳහා සවිය ලබා දුන්නේය. පස්සෙන් පිහිය තබාගෙන, ආදරයෙන් කප්පම් ඉල්ලීමට සමාන වූ මෙම ව්‍යාඛ්‍යානය වූ කලී අඩු වැඩි වශයෙන් නොව සම්පූර්ණයෙන්ම එක්සත් ජනපදය සියවසකට අධික කාලයක් භාවිත කළේය. න්‍යෂ්ටික ආයුධ යනු දණ්ඩය. එය පෙන්වා ලෝකයේ සෙසු රටවල් හිලෑ කර ගැනීම වූ කලී මෘදු වදන්ය.
1903 දී පැනමාවට කොලොම්බියාවෙන් නිදහස ලබා ගැනීම සඳහා එක්සත් ජනපදය සහාය දුන්නේය. පසු කලෙක පැනමා ඇළ ඉදිකිරීමට සහ එය ක්‍රියාත්මක කිරීමේ අයිතිය ද එක්සත් ජනපදය ලබා ගත්තේය. මෙම ව්‍යාපෘතිය ලෝක වෙෙළඳාමට සහ ප්‍රවාහනයට අතිශය පහසුකාරකයක් වූවා පමණක් නොව කලාපය තුළ අෙමරිකානු බලය සහ බලපෑම ද පෙන්නුම් කළේය.
ඩොමිනිකන් ජනරජයේ අභ්‍යන්තරය සඳහා එක්සත් ජනපදය අත පොවන්නේ ද මේ තියරිය මුලට ගෙනය. 1904 වසරේදී ඩොමිනිකන් රජය ආර්ථික අභියෝග සඳහා මුහුණදෙමින් සිටියේය. යුරෝපීය ණය හිමියන්ට ණය ආපසු ගෙවීමට නොහැකි තරමට තත්ත්වය දරුණු විය. ඊට ප්‍රතිචාර වශයෙන් ජනාධිපති රූස්වෙල්ට්, මෘදු ලෙස කතා කළේය. ලතින් අෙමරිකානු රටවල් සඳහා මැදිහත් වීමට එක්සත් ජනපදයට අයිතියක් ඇති බව හේ ප්‍රකාශ කළේය. එසේ කතා කරන අතරේ, පිටුපසින් ‘විශාල දණ්ඩක්’ ඔහු රැගෙන ගියේය. සිය බලය හොඳ හැටි පෙන්වමින්, එය වහා භාවිතයට ගන්නවා වෙනුවට, පළමුව සාකච්ඡාවෙන් අවනත කර ගැනීමේ ක්‍රියාකලාපය වසර කිහිපයක් තුළ එක්සත් ජනපදය ‘අත්දුටුයි සත්‍යයයි’ තත්ත්වයට ගෙන ආවේය.
මෙම ප්‍රතිපත්තිය යටතේ එක්සත් ජනපදය ඩොමිනිකන් ජනරජයේ රේගු ආදායමේ පාලනය භාර ගත් අතර, එහි මූල්‍ය කළමනාකරණය කළේය. යුරෝපීය බලවතුන් මැදිහත් වීම වැළැක්වීමේ මාධ්‍යයක් ලෙස මෙම මැදිහත්වීම යුක්තිසහගත වුවද, එය අෙමරිකානු ආධිපත්‍යය සහ අසල්වැසියන් කෙරෙහි බලපෑම ද ප්‍රදර්ශනය කළේය.
බිග් ස්ටික් ප්‍රතිපත්තිය ලෙස ලෝකයේ බොහෝ දෙනෙක් මෙයට දෙස්දෙවොල් තබන්නට පටන් ගත්තේය. අධිරාජ්‍යවාදයේ නවතම ව්‍යාපෘතිය ලෙස එය ගර්හාවට ලක් වන්නේ අනෙකුත් ජාතීන්ගේ ස්වෛරීත්වය සහ ස්වයං නිර්ණය පිළිබඳ මූලධර්ම උල්ලංඝනය කරන්නේ බැවිනි. බිග් ස්ටික් ප්‍රතිපත්තිය අනෙකුත් ජාතීන්ගේ වියදමින් ඇමරිකානු බලය තහවුරු කිරීමක් ලෙස බොහෝ දෙනා සලකන්නට පටන් ගත්හ.
වසර එකසිය තුනකට පෙර අද වැනි දිනක තියඩෝර් රූස්වෙල්ට් මෙම ප්‍රකාශය සිදු කරන ලද්දේ, එරට උප ජනාධිපති ලෙසය. ප්‍රකාශයෙන් දින හතරකට පසු ජනාධිපති මැකින්ලිට අයෙක් වෙඩි තැබුවේය. වෙඩි වැදුණු ජනාධිපතිවරයා මරු වැළද ගන්නේ, සැප්තැම්බර් 14 වෙනිදාය. එක්සත් ජනපදයේ 26 වැනි ජනාධිපතිවරයා ලෙස රූස්වෙල්ට් පත්වන්නේ ඒ අනුවය.
න්‍යායක් ලෙස මේ ක්‍රියාවලිය වත්මන් ශ්‍රී ලංකාවේ ද භාවිත වන්නේය. ජනාධිපතිවරණයක් අභිමුව අප සිටින්නේ බැවින් සමහරක් අපේක්ෂකයෝ සිය ප්‍රතිවාදීන් දමනය සඳහා මේ ආකාරයේ මෘදු තෙපළීමක් සමාජගත කර ඇත්තේය. එය වනාහි අප ආවොත් අහවල් ආකාරයට කටයුතු කරන්නේ යැයි පවසමින් විශාල දණ්ඩක් පෙන්වීමේ ක්‍රියාදාමයය.
ඡන්දය ලබා ගැනීම වෙනුවෙන් අනියම් ආකාරයේ බිය වැද්දීම් කිරීම කාලයක පටන් සිදුවූවකි. එය බොහෝ විට මෘදු වචන නොමැතිව කෙළින්ම තර්ජනයක් ලෙස ආවේය. අපේක්ෂකයෝ වැලට ඉල්ලා අස්වුණේ එවන් තර්ජන හමුවේ මුහුණ දිය නොහැකි හෙයිනි. අනික් අතට ඉල්ලා අස්නොවූ අපේක්ෂකයන්ගේ මළ සිරුරු දකින සහ ඒ ගැන පුවත් දැනගත් විට, දණ්ඩේ තරම දන්නා හෙයින් තව පිරිසක් අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්විය. ඡන්ද පොළට යන පළමු දහ දෙනා මරන බවට තර්ජනය කළේය. උතුරේ සහ දකුණේ විටින් විට, මේ ආකාරයට ඍජු තර්ජන ගලා ආවේය. ඒ සඳහා මරණ දඬුවම ලබා දුන් අවස්ථා ද ඇත්තේය.
එම බලවේග වෙනස් ඇඳුම් කට්ටලයක් වර්තමානයේ හැද පැලඳ සිටින්නේ නමුදු, පාතාලගතව සැබෑ සතා සිටින්නේ බැවින් වැඩේ පංකාදු පහට සිද්ධ වන්නේය. නායකයෝ මෘදු බස් තෙපළති. වේදිකාව මත ප්‍රජාතන්ත්‍රවාදය බදා වැලඳගෙන, ඒ සමඟ කැබරේ ඩාන්ස් දමති. අනුගාමිකයෝ ගම් මට්ටමින් භීෂණය පළ කරති. මෙය අවසන් අවස්ථාව බැවින් ගහලා හෝ ගත යුතු යැයි පවසන පිරිසක් ද වෙත්.
මෘදු ලෙස කතා කරමින්, එම ව්‍යාපාරය විසින් විශාල දණ්ඩක් රැගෙන යන්නේ ඒ ආකාරයටය. ගෙවල් ගිනි තැබීම සහ භීෂණය වැපිරීම සඳහා මැ උපන් මෙවන් ව්‍යසන, මැතිවරණයක් සඳහා හලා හල විසය. එහෙයින් සැරසී සිටින ඇඳුම හෝ තෙපළන මුදු වදන් දෙස බලා ඒ කවුදැයි අවබෝධ කර ගැනීම නොකළ යුත්තේය. සැබෑ ස්වරූපය ඇත්තේ ඇඳුමට යටිනි. නියම හැසිරීම බැලිය හැක්කේ දණ්ඩ අනුවය.