එළවා දැමීම සඳහා යෝජනා කිරීම පහසු වුවත් හැරදා ගිය පසු සිදුවෙන හානිය සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් නැත්තේ නම් එළවා දමා, තෙමේ ද පාරට බැසිය යුතු තත්ත්වයේ ‘වැඩ’ ලෝකයේ ඇත්තේය. ‘වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අබිමන්…’ යන ගීතය තුළ සාරාංශ කර ඇත්තේ, මේ කටුක සත්‍ය වන්නේය.
මූල්‍ය අරමුදල තරම් මේ රටේ අන් කිසිවක් වර්තමානයේ කස තැලුම් නොකන්නේය. හැම පාර්ශ්වයක්ම පාහේ, කතාවේ මුල හරියෙන්ම, මූල්‍ය අරමුදලට බැට දෙන්නේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු ප්රාතිහාර්යයක් නොව රටට ඇති ලොකුම හෙණයක් බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ වරක් සඳහන් කළේය.
ගෝඨාභය රාජපක්ෂ පැන්නූ ආකාරයෙන්ම, රාජපක්ෂලා පැන්නූ ආකාරයෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද පන්නා දැමිය යුතු බව හෙතෙම තරයේ කියා සිටියේය.
මූල්‍ය අරමුදලේ ආරක්ෂකයා සේ ක්‍රියා කිරීමට මේ තීරුව අදහස් නොකරන්නේය. රට පත්ව ඇති තත්ත්වය ප්‍රකාරව, තිබූ එකම සරණ වූයේ එයය. මේ ගාණට හෝ වැඩේ ගොඩ දමාගත්තේ එම න්‍යාය පත්‍රයට අනුව වැඩ කටයුතු සිදු කළ හෙයිනි. මෙතැන් පටන් ඉදිරියට යනවාද, නොමැත්තේ නම් පල්ලමේ ගොස් වළේ වැටෙනවාද යන්න, රටක් ලෙස ගත යුතු තීරණයකි. කල් වේලා ඇතිව මොළයට දමාගත් මතවාද සහ පදනම් මත්තේ රටේ අනාගතය සඳහා බැමි බැඳීමට යන්නේ නම්, එතැන් පටන් ලගින්නට වෙන්නේ පාරේය.
විදෙස් ණය හිමියන් සහ පෞද්ගලික බැඳුම්කර හිමියන් ශේප් කර ගැනීම සඳහා අපට යන්ත්‍රණයක් අවශ්‍යය. ණයට ගෙන, බැංකුවට මර්සි දමා වාරිකය නොගෙවා සිටිය නොහැක්කේ සේ, කළමනාකරණ අංශයෙන් අප අසමත් වූවා කියා, ණයට දුන් රට හෝ ස්වෛරී බැඳුම්කර හිමියන් පළි නැත. ණය ලබා ගැනීමේදී අනුගමනය කළ කොන්දේසි ඒ ආකාරයට ඉටු කරනු ඇතැයි, ඔවුනගේ අපේක්ෂාවය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන ඇති කර ගත්තේ කාරණා දෙකක් සඳහාය. පළමු වැන්න, බංකොලොත් වූ පසු ණය හිමියන්ගේ නඩු පැවරීම සඳහා උත්තරයක් ලෙසය. අනික, කන්න බොන්න පවා නොමැති රටේ ඉදිරි කාලය සඳහා අවශ්‍ය සැලසුම වෙනුවෙන්ය. එක්සත් ජනපදයේදී ශ්‍රී ලංකාවට නඩුකරයක් පවරන්නේ බැඳුම්කර සඳහා ණය නොගෙවීම සම්බන්ධයෙනි.
ඒ සඳහා පිළිතුර වන්නේ “එළවව්… පලයව්…” පන්නයේ සටන් පාඨ නොවේ. ශිෂ්ට සමාජයක් එකඟතාවක් කඩ වූ කල ඒ සඳහා සමථකරණයට යන්නේය. එසේ නොමැතිව ණයට ලබාදුන් කෙනාගේ ගෙදරට කැති සහ පිහි රැගෙන ගොස් ‘ගෙවන්නේ නෑ… පුළුවන් දෙයක් කරපන්.’ ලෙස වහසි බස් දොඩන්නේ නැත. පුද්ගලානුබද්ධව, ඒ ආකාරයට මර්සි දැමිය හැක්කේ වුවද, රටක් ලෙස එහෙම කටයුතු කළ නොහේ. බංකොලොත්භාවය ප්‍රකාශ කළ පසු මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයකට පැමිණියේ අර්බුදයෙන් ගොඩඒම සඳහා තිබූ එකම මාර්ගය එය බැවින් මිස, මූල්‍ය අරමුදල සමඟ වන පරණ ආදරය අලුත් කර ගැනීම යන අර්ථයෙන් නොවේ.
දැන් රට ධාවනය වන්නේ ඒ පීල්ලේය. ඒ සඳහා රාමුවක් ඇත. උදාහරණයකට අය වැය හිඟය, දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.2%ක ප්‍රමාණයක පවත්වාගත යුත්තේය. ප්‍රාථමික ගිණුමේ ශේෂය ධන 2.3%ක් විය යුත්තේය. මේ රටේ ඉදිරිය තීරණය වන්නේ එම එකඟතා රාමුවේ ගමන මතය. රා මදින්නා ලණුව බැලන්ස් කර ගනිමින් යන්නා සේ මේ මත්තේ යෑම සඳහා අප බැඳී ඇත්තේය. මූල්‍ය අරමුදල සමඟ වන කොන්දේසි කඩ කළ සැණින්, එම පිරිස අපව අත්හැර යන්නේය. ණය ලබා ගැනීම අපට අවශ්‍ය වූවාට බැංකුවට ඒ වැඩේ එහෙම සීරියස් නැත්තා සේය.
ඉදිරිපත් කර ඇති ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ අනුව, මූල්‍ය අරමුදල සමඟ වැඩ කටයුතු සිදු කිරීමට තම තමා බලාපොරොත්තු වන ආකාරය සටහන්ව ඇත.
විපක්ෂයේ සමහර ප්‍රතිපත්ති ප්‍රකාශ අනුව, දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.2%ක පවත්වාගෙන යා යුතු අය වැය හිඟය, 11.9 %ක් දක්වා පුළුල් වන්නේය. මේ ආකාරයට හිඟය ඩබල් වන්නේ නම්, එකඟතාව එතැනින්ම අවසන්ය. බඩු මුට්ටු ටික පැක් කරගෙන මූල්‍ය අරමුදල අප හැරදමා යන්නේ ඊට පහුවදාටය.
ප්‍රාථමික ගිණුමේ ශේෂය ධන 2.3% විය යුතු බවට මූල්‍ය අරමුදල සමඟ අප එකඟතාවයට පැමිණ ඇත්තේ මුත් මේ පොරොන්දු පත්‍ර අනුව, එය ඍණ 4.3% දක්වා පහත යන්නේය. ඔය ආකාරයට සහන මල්ල ලබාදීම සඳහා මේ මොහොතේ රට පොහොසත් නැත. යා යුත්තේ පියවරෙන් පියවර ඉදිරියට මිස, ලොකු පිමි පැනීම සඳහා වන රිටක් අපට නැත. රටක් වෙනුවෙන් ඡන්දයට යමෙක් ඉදිරිපත්ව සිටී නම්, හේ අනිවාර්යෙන්ම මූල්‍ය අරමුදලේ එකඟතා රාමුව රැකිය යුත්තේය. නැතිනම් රටක්ම ලගිනු ඇත්තේ මහපාරේය.
වෙනත් රටවල වියත් පර්ෂද මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන සම්බන්ධයෙන් අදාළ කේෂ්ත්‍රය අනුව මැනුම් සිදු කරන්නේය. එතැනදී ප්‍රමුඛ වන්නේ පක්ෂය නොවේ. ක්‍රියා පිළිවෙතය.
මේ රටේ ඉදිරි ජනතා තීන්දුව ද ගත යුත්තේ එවැනි බැරෝ මීටරයක් අනුව මිස, සංදර්ශනවාදය අනුව හෝ ලබාදෙන කැරට් අල ප්‍රමාණය මත හෝ නොවේ. රටේ ඉදිරි දැක්ම සඳහා වන හොඳම ‘පොත’ පළ කර, එය ක්‍රියාවට නැඟිය හැකි කෙනා වෙතය.
ජනතාව ඒ සඳහා වන බැරෝ මීටරය හිතේ සවි කරගෙන, ප්‍රතිපත්ති ප්‍රකාශ කියවා බැලූ විට වැඩේ කළ හැක්කේ කාහටදැයි තේරුම් යනවා ඇත්තේය.