ජෝ රූට්ගේ විශිෂ්ට ශතකය සහ ගස් ඇට්කින්සන්ගේ හොඳම ටෙස්ට් ඉනිම හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ ඊයේ ලෝඩ්ස් පිටියේදී ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7ක් දැවී ලකුණු 358ක් රැස් කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.
ඊයේ පළමු දිනයට තරගය නතර කරන විට ගස් අට්කින්සන් ලකුණු 74ක් සහ මැතිව් පොට්ස් ලකුණු 20ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.
සිය හොඳම ටෙස්ට් ඉනිම ක්‍රීඩා කරන ඇට්කින්සන් පන්දු 81කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් එල්ල කර තිබිණි.
මුල් පෙළ කඩුලු 2ක් ඉක්මනින් බිඳ වැටීමෙන් පසු එංගලන්ත ඉනිම ගොඩනැඟීමේ බර කරටගත් ජෝ රූට් 33 වැනි ටෙස්ට් ශතකය ලෙස ලකුණු 143ක් රැස් කළේය. ඔහු ලෝඩ්ස් පිටියේදී වාර්තා කළ 6 වැනි ටෙස්ට් ශතකය මෙය වන අතර, එය මේ පිටියේදී වැඩිම ටෙස්ට් ශතක වාර්තාව සම කිරීමක් ද විය. ග්රැහැම් ගූච් සහ මයිකල් වෝන් ද මේ පිටියේදී ටෙස්ට් ශතක 6 බැගින් වාර්තා කර තිබේ. මුළු ලකුණු සංඛ්‍යාව 300 සීමාවෙන් එපිටට ගෙන යෑමෙන් අනතුරුව මිලාන්ගේ පන්දුවක් හමුවේ රූට් 7 වැනි කඩුල්ල ලෙස දැවී යන විට පන්දු 206කදී හතරේ පහර 18කින් ඉනිම සවිමත් කරගෙන තිබිණි. ඔහුට අනගි සහායක් දුන් ගස් ඇට්කින්සන් 7 වැනි කඩුල්ලට ලකුණු 92ක සබඳතාවක් ගොඩනැඟූ අතර, ඉන් පෙර ජේමි ස්මිත් 5 වැනි කඩුල්ලට රූට් සමඟින් ලකුණු 62ක් එක් කළේය.
මේ තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා පිල සතු වූ අතර, පළමුව පන්දුවට රැකීමට නායක ධනංජය ද සිල්වා ගත් තීරණයට සාධාරණයක් කළ පන්දු යවන්නෝ දිවා විවේකයට පෙර එංගලන්ත පිතිකරුවන් තිදෙනකු යළි ක්‍රීඩාගාරයට හරවා යැවූහ.
මුළු ලකුණු 33ක් වෙද්දී ආරම්භක පිතිකරු ඩෑන් ලෝරන්ස්ගේ ඉනිම ලකුණු 9කින් නතර කිරීමට ළහිරු කුමාර සමත් වූයේ කඩුලු රකින ක්‍රීඩක නිශාන් මධුෂ්ක උඩ පන්දුවක් රැක ගැනීම හේතුවෙනි. තවත් ලකුණු 9ක් එක් වෙද්දී අසිත ප්‍රනාන්දුගේ පන්දුවකට නායක ධනංජය ද සිල්වා උඩ පන්දුවක් රැක ගැනීමෙන් එංගලන්ත නායක ඔලී පෝප්ගේ ඉනිම ලකුණු 1කට සීමා විය. තරගයේ දිවා විවේකයට පෙර එංගලන්තයට තෙවැනි කඩුල්ල අහිමි වූයේ ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් හමුවේ ළහිරු කුමාර උඩ පන්දුවක් රැක ගැනීමෙන් ආරම්භක පිතිකරු බෙන් ඩකට් දැවී යෑමෙනි.
කෙසේ වෙතත් අංක 4 පිතිකරු ලෙස පිටියට පිවිසි ජෝ රූට් තරගයේ වාසිය තම කණ්ඩායම දෙසට හරවා ගැනීමට සමත් විය. රූට් සමඟ තෙවැනි කඩුල්ලට ලකුණු 40ක් එක් කළ ඩකට් රැස් කළේ ද ලකුණු 40ක් පමණි. අනතුරුව හැරී බෘෘක් සමඟ සිව්වැනි කඩුල්ලට ලකුණු 48ක් එක් කරමින් ඉනිම ලකුණු 130 දක්වා ඉදිරියට ගෙන යෑමට රූට් සමත් වූ අතර, අසිත ප්‍රනාන්දුට දෙවැනි කඩුල්ල ලබා දෙමින් බෘෘක් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යන විට ලකුණු 33ක් රැස් කර තිබිණි.
5 වැනි කඩුල්ල ලෙස ජේමි ස්මිත් ලකුණු 21කින් නතර කිරීමට මිලාන් රත්නායක සමත් වූ අතර, ක්‍රිස් වෝක්ස් ලකුණු 6කට දවා ගැනීමට ළහිරු කුමාර සමත් විය.
පන්දු යැවීමේදී ළහිරු කුමාර, මිලාන් රත්නායක සහ අසිත ප්‍රනාන්දු කඩුලු 2 බැගින් දවාගත් අතර, ප්‍රභාත් ජයසූරිය කඩුල්ලක් දවා ගත්තේය.
මේ තරගයේදී ශ්‍රී ලංකා පිල වෙනස්කම් දෙකක් සිදු කරමින් කුසල් මෙන්ඩිස් සහ විශ්ව ප්‍රනාන්දු වෙනුවට පැතුම් නිශ්ශංක සහ ළහිරු කුමාර එක් කර තිබූ අතර, පළමු තරගයේදී ආබාධයකට ලක්වූ මාක් වුඩ් වෙනුවට එංගලන්ත පිල මේ තරගයට ඔලි ස්ටෝන් කැඳවා තිබිණි. ඔහු ටෙස්ට් තරගයකට එක් වූයේ 2021 වසරේ ජූනි මාසයෙන් පසුවය.
අද තරගයේ දෙවැනි දිනයයි.