ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමයේ නිලවරණයට විරෝධය පා සභාපති තනතුරට නාමයෝජනා ලබාදුන් තමාරා ධර්මකීර්ති හේරත් මහත්මිය හා උප සභාපති තනතුරකට නාමයෝජනා දුන් කුමුදුනී ගෝමස් මහත්මිය සිය නාමයෝජනා ඉල්ලා අස් කර ගන්නා බව නිලවරණ කමිටුවට ලිපියක් මඟින් දැනුම් දී ඇත.
ක්‍රීඩා නීතිය හා නෙට්බෝල් ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් පැවැත්වීමට සූදානම් වන නිලවරණය වහාම නවතා දමා සුදුසු පරිදි එය පවත්වන ලෙස ක්‍රීඩා ඇමැතිවරයාගෙන් හා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් හේරත් හා ගෝමස් මහත්මීහු ඉල්ලා සිටිති.
ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමයේ ලියාපදිංචි සංගම් 32කින් සංගම් 10ක ඡන්ද බලය අහිමි කිරීම නීති විරෝධී ක්‍රියාවක් බවත්, එය සාධාරණ ඡන්ද විමසීමකට බාධාවක් වී ඇති බවත් එම දෙපළ පෙන්වාදී තිබේ. වාර්ෂික නෙට්බෝල් කැලැන්ඩරය අනුව ඉහළම ක්‍රියාකාරීත්වයක් ඇති වෙෙළඳ සේවා නෙට්බෝල් සංගමය, කොළඹ දිස්ත්‍රික් හා කළුතර දිස්ත්‍රික් නෙට්බෝල් සංගම්වලද ඡන්ද බලය අහිමි කිරීම විමතිය දනවන කරුණක් බව එම මහත්මීහු සඳහන් කරති.
මෙවර නෙට්බෝල් නිලවරණයේදී අම්පාර, යාපනය, මාතලේ, මාතර, නුවරඑළිය, වව්නියාව හා නිදහස් වෙළෙඳ කලාපය යන සංගම්වල ද ඡන්ද අයිතිය අහෝසි කොට ඇති අතර, පැවැත්වීමට නියමිත නෙට්බෝල් නිලවරණයේ භාරදුන් නාමයෝජනා 35කින් නාමයෝජනා 14ක් ප්‍රතික්ෂේප වී තිබිණි.
බහුතර සංගම්වල ඡන්ද බලය අහිමි කිරීමට හේතු ලෙස දැනුම් දී ඇත්තේ සාමාජිකත්වය නීත්‍යනුකූල බවට ඉදිරිපත් කළ යුතු ලේඛන සමඟ අත්සන් ලේඛනය ඉදිරිපත් නොකිරීමේ චෝදනාවය. එහෙත් නිලවරණයට අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමේදී අත්සන් ලේඛනයක අවශ්‍යතාව සාමාජික සංගම් වෙත දැනුම් දී නොතිබූ බවට එම සංගම් ප්‍රධානීහු මෙයට පෙර චෝදනා කළහ. එබැවින් අත්සන් ලේඛනය ඉදිරිපත් නොකිරීම හේතුකොටගෙන ඡන්ද බලය අහිමි කිරීම සාධාරණ නොවන බව සංගම් ප්‍රධානීහු සඳහන් කර සිටිති.