Home » රනිල් වැඩිම ඡන්දවලින් කෑගල්ල දිනනවා

රනිල් වැඩිම ඡන්දවලින් කෑගල්ල දිනනවා

by mahesh
August 30, 2024 1:00 am 0 comment

කෑගල්ල විශේෂ - චමින්ද ජයලත්

“මේ මැතිවරණය රටේ ඉදිරිය ගැන තීරණය කරනු ලබන වටිනා මැතිවරණයක්. හොඳ කළමනාකාරීත්වය තියෙන එකම ජන නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා තෝරා පත් කර ගැනීම අපේ අරමුණයි. එතුමා වැඩිම ඡන්ද සංංඛ්‍යාවකින් කෑගල්ල දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරනවා” යැයි කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

රංජිත් සියඹලාපිටිය මහතා මේ බව කියා සිටියේ දැදිගම ආසනයේ තෝලංගමුව ප්‍රදේශයේ පක්ෂ කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්ය.

“දේශපාලනය විසින් අපට මඟහැරිය නොහැකි වගකීමක් දැන් පවරලා තියෙනවා. පසුගිය කාලේ අපි ලොකු කඩාවැටිල්ලකට වැටුණා. මොකද රටේ පැවති විවිධාකාර හේතු නිසා. ගෙවී ගිය අවුරුදු හැත්තෑ හයේම වැරදි එතන තිබුණා. මේ වෙන කොට අලුත්ම නැවුම්ම විදිහට කතා කරන අය තමයි එදා වැඩිපුර වැරදි කරලා තිබුණේ. පාලකයින්ගේ වසර 76 ක කාලය තුළ වැරදි තිබුණා කියලා ජනතාව කියනවා. දේශපාලකයෝ ගත්ත තීරණ එදා වැරදි වෙන්න පුළුවන්. ඒ සියල්ල ප්‍රජාතන්ත්‍රවාදී තීන්දු. වැරදි තීන්දු ගත්තා, ඒක ඇත්ත වෙන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ මැතිවරණයේ ඒ අය ගෙදර යැව්වා. මේකටයි ප්‍රජාතන්ත්‍රවාදය කියල කියන්නේ. හැබැයි මේ සමහර කණ්ඩායමක් බලෙන් පාලන බලය ගන්න ගිහිල්ලා මහා විනාසයක් එදා සිදු වුණා.

පළමු කට්ටිය එල්.ටී.ටී.ඊ. සංවිධානය. අවුරුදු 30ක් තිස්සේ මේ රටේ පාලන බලය ගන්න මේ රටට කරන්න පුළුවන් දැවැන්තම විනාශය එදා සිදු කළා. ජීවිත දේපොළ සියලු දේම විනාශ කර දැමුවා. අනිත් අය කවුද දෙවතාවක්ම රාජ්‍ය බලය ගන්න ගිය සහෝදර කණ්ඩායම. ඒ අය නැවුම් කට්ටිය නෙමෙයි.

ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මැතිතුමා මේ රටේ හිටපු ඉතාමත් ප්‍රගතිශීලි උගත් මුදල් අමාත්‍යවරයෙක්. එයා කියලා තියෙනවා හැන්සාඩ් එකේ 1972 අය වැය ලේඛනය ඉදිරිපත් කරන කොට ‘මට තේරෙන්නේ නෑ මේ රටේ තරුණයෝ මොකද්ද කරලා තියෙන්නේ කියලා’ අහලා තියෙනවා. ‘මම තමයි මේ රටේ වැඩිම ප්‍රගතිශීලිත්වය වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කරන මුදල් අමාත්‍යවරයා’ කියලා. ‘හැබැයි අද මගේ අතපය දෙකම බැඳලා තියෙනවා. මට මේ වියදම් ටික කර ගන්න විදිහක් නෑ. මේ රටේ භාගයක් විනාශ වෙලා තියෙනවා කවුද මේක කළේ.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ප්‍රගතිශීලි ගමනක් යන්න හදන කොට බලෙන් ආණ්ඩුව 1971 දී ගන්න හැදුවා. විනාශ කරලා මරලා ගිනි තියලා ලොකු විපතක් සිදු කළා. ඊළඟට 1989 බලෙන් ආණ්ඩු ගන්න ගියා. කොච්චර ජීවිත විනාශයක් වුණා ද? ඒ අයට ඕනෑ තරම් අවස්ථා ආවා ආණ්ඩු හදලා පාලනය කරන්න.

ඊළඟට 2005 ආණ්ඩුවේ ආණ්ඩු පක්ෂයට මන්ත්‍රීවරු හිටියේ 105 යි. එකෙන් 39ක් ඔය කියන සහෝදරවරු. කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මම මනාප 80000ක් ගන්න කොට සහෝදරවරු දෙන්නා 84000, 90000 ගත්තා. රට ආරක්ෂා කරන්න අලුත් ගමනක් යන්න කියලා අපේ කට්ටිය ගෙඩි පිටින් සහෝදරවරුන්ට මනාප දුන්නා. එදා හොඳටම ආණ්ඩුව අල්ලේ නටවලා ආණ්ඩුව පාලනය කරන්න තිබුණා. කැබිනට් ඇමැතිවරු හතර දෙනයි නියෝජ්‍ය ඇමැති හතරයි. ඔය කියන විදිහට ආණ්ඩුව ඕන විදිහට නම්මා ගන්න තිබුණා. නම්මා ගන්න පුළුවන් වුණා ද නෑ, මාස හයයි. මොකද වගකීම් දරන්න බෑ, කතා කරනවා වගේ රටක් පාලනය කරන්න බෑ. මේක තමයි මේ රටේ මිනිස්සු තේරුම් ගන්න ඕනෑ. ඕනෑ නම් එදා තිබුණා හොඳටම ආණ්ඩුව නමලා ජනප්‍රියතාවය වැඩි කරගෙන ආණ්ඩුවක් හදාගන්නත්, සහෝදරවරුන්ට තිබුණා. හැබැයි අන්තිමේදී අතරමඟ දාලා ගියා. දැන් හැම දෙයටම විරුද්ධ වෙලා අපි හිටියා නම් මෙහෙමයි අපි හිටිය නම් මෙහෙමයි කියලා කියනවා.

අපි කැමති නැද්ද මේ බදු අඩු කරන්න. මම කැමති නැද්ද ගමට එනකොට අපේ මිනිස්සු ඇමැතිතුමා බදු ටික අඩු කරා, දීමනා ටික වැඩි කරා, ඕක අහන්න අපිත් කැමතියි. අපි ගමේ හැමතැනම ඇවිදින මිනිස්සු. ඔබතුමා බදු ටික අඩු කරා, පඩි ටික වැඩි කරා කියලා අපි ආස නැද්ද අහන්න. එහෙම කරන්න බෑ. හැමදේකම කළමනාකරණයක් තියෙන්න ඕනෑ. අන්න ඒ හොඳම කළමනාකාරීත්වය තියෙන නායකයා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. 2022 මේ වගකීම භාර අරගෙන මේ රට ගොඩ දැම්මේ. ඒ කළමනාකාරිත්වය තවත් වසර කිහිපයක් අවශ්‍යයි කියලා තීරණය කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඒක වෙනස් කරන්න බෑ, ඒක වෙනස් වුණොත් නැවතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවා ඒක වෙනස් කළොත් ඔබ නැවතත් ආගාධයට වැටෙනවා කියලා. මේ දේශපාලනය නෙමෙයි කතා කරන්නේ. ප්‍රතිපත්ති ටික තව වසර කිහිපයක් ඉදිරියට ගෙනියන්න ඕනෑ නිසා දන්වා සිටිනවා.

දැන් තැපැල් ඡන්ද ළඟ නිසා ලෝකෙ නැති බොරු බේගල් ඇද දමනවා. අපට පසුගිය කාලේ මාසික වැටුප ගෙවන්න සිදු වුණේ දෙවතාවකට. සමහර යෝජනා ආවා වැටුපෙන් ටිකක් කපන්න කියලා මෙහෙම වැටුණු රටවල්වල වැටුප කපපු අවස්ථා තිබුණා. අපි ඒවා කරන්න ගියේ නෑ. අපටත් සිද්ධ වුණා මාස කීපයක් දෙවතාවකට ගෙවන්න.”

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය කනක හෙරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජීකා වික්‍රමසිංහ, උදයකාන්ත ගුණතිලක සහ ප්‍රදේශයේ ජනයා ද එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT