දේශපාලන වේදිකාව කවදත් කොතැනත් රසබරය. නොයෙක් කතාබහ එහි දිගහැරේ. විටෙක එහි කතා නොකරන්නේ දේශපාලනය පමණි. ඒ අතර එකිනෙකා විවේචනය, මඩ ප්‍රහාර, ඡන්ද පොරොන්දු, කළ දෑ, නොකළ දෑ, කරන්න හිතාගෙන ඉන්න දෑ පමණක්ම නොවෙයි. එකිනෙකාගේ පුද්ගලික දේවල් ද විටෙක හොඳ ලුණු ඇඹුල් ඇතිව කදිමට දිගහැරේ. කථකයාගේ කථිකත්වය අනුව මෙය තව දුරටත් රස වේ. උදාහරණ, උපහැරණ, පද පෙරළි, දෙපැත්ත කැපෙන වචන, ව්‍යංගාර්ථ, යුගල පද, උපමා උපමේය පමණක් නොවේ, සංස්කෘතික උපසංස්කෘතික වචන සහ කතාද දිගහැරේ. ඇතැමුන් මුළු වේදිකාවම සිනා සයුරේ ගිල්වති. ඇතැමුන් පක්ෂ, විපක්ෂ ප්‍රතිවාදීන් ඇතුළු සියලු දෙනාම සිනා සයුරේ ගිල්ලූ අවස්ථා ඇත. 1956 යුග පෙරළියේදී එවන් රසවතෙක් දඹුල්ල ප්‍රදේශයේ සිටියේය. ඔහු වඩාත් ප්‍රචලිතව සිටියේ දඹුල්ලේ පුංචි මිනිසා යනුවෙනි. ඔහු සාමාන්‍ය මිනිසුන් අතරින් බිහි වූ කවියකි. ඔහු පමණක් නොවේ. මෙරටේ එවන් රසවතුන් රැසක් එදා සිටියහ.
ඔවුන් කරන කියන දෑ අසන්නටම ඔවුන් දේශපාලන වේදිකාවට එන දේශපාලන රැලිවලට එක්රොක් වෙන්නට එදා මහජනයා පුරුදුව සිටියහ.
එසේම දේශපාලන වේදිකාව පමණක් නොවෙයි, ප්‍රසංග වේදිකාවේ ද ඇතමුන් තමන්ගේ අකමැත්ත හා අප්‍රසාදය පෙන්වීමට හූ කියති. වේදිකාවේ සිටින අය ද ඉන් කෝපයට පත් වෙති. ඇතැමුන් වේදිකාවෙන් බැස යති. ඇතැම් කථිකයෝ ඊට විවිධ උපක්‍රම යොදති. අද අපේ කතා නායකයාත් එවන් අයෙකි. ඔහුට අපි සෝමසිරි යැයි කියමු. මොහු තමා ජීවත් වූ ප්‍රදේශයේ ප්‍රසිද්ධව සිටි මන්ත්‍රී වරයෙකි. එසේම ඔහු දේශපාලන වේදිකාවේ කථනයේ ශූරයෙකි. ඒ වගේම කවියෙන් වේදිකාව රසවත් කළ අයෙකි. ඒත්, ඔහුගේ පක්ෂයට හෝ ඇතැම් සංසිද්ධියකට විරුද්ධ වූ කොලු රෑනක් ඔවුන්ගේ අකමැත්ත, අප්‍රසාදය ප්‍රකාශ කළේ හූ කියමිනි. මේ කොල්ලෝ අපේ කතකයගේ විරුද්ධ පාක්ෂිකයෝ වූහ. කොල්ලන්ගේ හූ හඩින් කථකයා අපහසුවට පත්විය. ඒත්, ඔහු පසුබට නෙවීය. ඔහු එය ගණනකටවත් නොගත්තේය. ගණනකට ගත් බවක් හෝ නොපෙන්වීය. නමුත් ඔහුට හට ගත් කේන්තියත්, අකමැත්තක් මේ කොලුවන්ට දන්වා සිටින්නට අවශ්‍ය විය.
ඔහු ඊට අපූරු උපක්‍රමයක් භාවිතා කළේය. කවියෙකු වූ මේ රසවතා කවියෙන්ම කොල්ලන් ආමන්ත්‍රණය කළේය. ඔහු සැපයූ පිළිතුරු කවිය මෙයයි.
කොල්ලෙක් උපන්නොත් නරියෙකු හට දාව,
උරුමයි ඌට නරියාගේ කැත හූව,
අම්මෙක් ඇතොත් කොල්ලනි මට හූ කීව,
කොල්ලෝ ගෙදර ගොස් මකවාපන් හූව
ඉන් පසු මෙතෙක් වේලා පැවති හූව වහා නතර විය. කොලු රෑන දෙසින් ආවේ ප්‍රීති ඝෝෂාවකි. හූව වෙනුවට කොල්ලෝ අත්පුඩි තැලූහ. වේදිකාවේ හුන් කවියාද ( පෙර කී දේශපාලන කථකයා ) වේදිකාවෙහි පහළ සිටි නඩය සමඟ එක්ව ද ප්‍රීති ඝෝෂා නැඟූහ. අසතුට අකමැත්ත එතැනින් නිමාවිය. මෙතෙක් වේලා හූ කියූ කොල්ලෝපසු බැස ඉවත්ව ගියහ.
අද මෙවන් වපසරියක් තියේද? වේදිකාව දෙසින් හූ හඬක් හෝ අප්‍රසාදයක් ආවොත් කුමන තත්ත්වයක් ඇතිවෙයිද ? නමුත් එදා සිටිදේශපාලන කථකයෝ වගේම සාමාන්‍ය ජනයාද උසස් කලාකාමී රසවත් හිතැත්තෝ වූ බව තර්කයෙන් තොරය. අවසන සිදු වූයේ ගුටිබැටි හුවමාරුවක් නොවේ. වෙඩි වරුසාවක් ද නොවේ. බැන ගහ අඬා ගැනීමක් ද නොවේ. දෙපාර්ශවයම නොරිදා සිනහවෙන්ම ගැටලුව මනාව විසඳා ගැනීමකි. එයට සමස්ත සමාජයම උසස් රස වින්දනයකින් හෙබියා වූ පිරිසක් සිටිය මනාය.
මෙහි සඳහන් නම් ගම් සියල්ල මන:කල්පිතය.
මෙය ඔබගේ රසවින්දනය සඳහා පමණකි.
විශේෂ ස්තූතිය,
විශ්‍රාමික හිටපු අමාත්‍යංශ ලේකම්
ඒ. පී. ඒ ගුණසේකර මහතාට